කොවිඩ් සමයේ නගරය අතහැර කඳුකරයට ගිය දිල්ලි නීතිඥවරිය එහිම නතර වෙයි
කාර්යබහුල නගර ජීවිතය, රැකියාවේ පීඩනය සහ නිරන්තර කාල සීමාවලින් මිදී තමන්ට අවශ්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ දිල්ලි නීතිඥවරියකගේ ජීවිත කතාව මේ වනවිට අවධානයට ලක්ව තිබේ.
කොවිඩ්-19 වසංගත සමයේ තනිව මනාලි වෙත සංචාරයකට ගිය නයන්තරා චෞහාන් එම ගමනෙන් පසු යළි දිල්ලියට පැමිණ නොමැත.
ඇය නීතිඥවරියක ලෙස සේවය කළ අතර, 2021 වසරේදී නීති ක්ෂේත්‍රයෙන් ඉවත් වී කඳුකර ජීවිතයට යොමු වී තිබේ. එහිදී ඇයගේ නව ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර පිසීමයි.
විශේෂයෙන්ම එළිමහනේ ආහාර පිසීමට ඇය වැඩි කැමැත්තක් දක්වන අතර, මනාලි අවට ගංගා ඉවුරු සහ ස්වභාවික පරිසරයන් තුළ ආහාර පිසින ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගනී.
දර අඟුරු උදුනක පිසූ ඉඩියප්පම් සිට අතේ ගෙන යා හැකි උදුනක සකස් කළ සර්සොන් කා සාග් දක්වා විවිධ ආහාර ඇය එළිමහනේ පිස ඇත. නීතිඥවරියකගේ සිට එළිමහන් ආහාර පිසීමේ කටයුතු කරන අයෙකු බවට පත්ව ඇති නයන්තරා මේ වනවිට මනාලි ප්‍රදේශයේ වසර හතරකට ආසන්න කාලයක් ජීවත් වී තිබේ.
එමෙන්ම ඇය මේ වනවිට ලේහ් ප්‍රදේශයේ මාස දෙකක කාලයක් ගත කරමින් සිටින අතර, එහි දෛනික ජීවිතයද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගනී. කඳුකර ආහාර, ගම්මාන ජීවිතයේ දෛනික දසුන් සහ කඳුකරයේ සුන්දරත්වය ඇයගේ සමාජ මාධ්‍ය සටහන්වල නිරන්තරයෙන් දැකගත හැකිය.
කෙසේ වෙතත්, කඳුකර ජීවිතය සැමවිටම පහසු අත්දැකීමක් නොවන බවද ඇය පෙන්වා දී තිබේ. 2021 වසරේ සිට තමන් විවිධ දේ අත්හදා බලා ඇති බවත්, ඇතැම් දේ අත්හැරීමට සිදුවූ බවත්, නැවත පැමිණීම ගැන සිතා ඇති අවස්ථා තිබුණත් ඉදිරියටම ගමන් කළ බවත් ඇය සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර තිබේ.
ලේහ්හි ගත කරන කාලය තුළද ගම්මාන ජීවිතයේ දුෂ්කරතා ඇය විසින් සටහන් කර ඇත. ජල සැපයුම සපයා ගැනීමේ සිට මූලික සනීපාරක්ෂක පහසුකම් කළමනාකරණය කිරීම දක්වා එහි දෛනික අභියෝග පිළිබඳව ඇය සිය අත්දැකීම් බෙදාගෙන තිබේ.