නේපාලයේ ජල ගැලීමෙන් මරණ සංඛ්‍යාව 389 දක්වා ඉහළට
නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලීසිය පවසයි.
මීට පැය කිහිපයකට පෙර බලධාරීන් විසින් මරණ සංඛ්‍යාව 359ක් ලෙස වාර්තා කර තිබුණද, නවතම තොරතුරුවලට අනුව එම සංඛ්‍යාව 389 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ජල ගැලීමෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා සඳහන් කර ඇත්තේ, නේපාල හමුදාව, සන්නද්ධ පොලිස් බළකාය සහ ජාතික පොලීසියට අයත් ආරක්ෂක නිලධාරීන් 13,000කට අධික පිරිසක් සහන හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි.
අද දිනය තුළ පමණක් ගුවන් මගින් පුද්ගලයින් 573 දෙනෙකු මුදාගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
විපතට පත්වූවන් සඳහා තාවකාලික සහන කඳවුරු ස්ථාපිත කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයින්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටද කටයුතු කර ඇති බව බලධාරීහු පවසති.
ජීවිත බේරාගැනීම, අතුරුදන්වූවන් සෙවීම සහ විපතට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීම රජයේ ප්‍රධානතම අවධානය බව නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.