ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි
හෙරෝයින් ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ ජයසිංගම් රජීව් හෙවත් සුදාකරන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.
එම විත්තිකරු විසින් තමන්ට පනවා තිබෙන මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාගේ එකඟත්වය ඇතිව විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
2014 මාර්තු 17 වනදා කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම විත්තිකරු හෙරෝයින් ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව නීතිපතිවරයා විසින් එම විත්තිකරුට එරෙහිව හෙරෝයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරිණි.
කොළඹ මහාධිකරණය විසින් එම චෝදනා විභාග කරමින් විත්තිකරු වරදකරු කර මරණීය දණ්ඩනය නියම කළ අතර, එම තීන්දුවට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.
ඇපෑලේදී විත්තිකරු පැවසුවේ, පැමිණිල්ලේ සාක්ෂි අතර පරස්පරතාවයන් තිබූ බවත්, අත්අඩංගුවට ගැනීමේ නීතිමයභාවය නිසි ලෙස ඇගයීමක් නොකළ බවත්ය.
කෙසේ වෙතත්, සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ, මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි නිසියාකාරව විශ්ලේෂණය කර නිවැරදි ලෙස තීන්දුව ලබාදී ඇති බවයි.
පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බැවින් විත්තිකරුගේ ඇපෑල නිෂ්ප්‍රභ කරන බවත්, මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් තීන්දුවේ අවසානයේ සඳහන් කෙරිණි.