කුමාර ජයකොඩි අමාත්‍යවරයා වහා ඉවත් කරන්න – දයාසිරි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර ඇත්තේ, ආයතන සංග්‍රහයේ 27(10) වගන්තිය යටතේත් අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ පනතේ 162 වැනි වගන්තිය යටතේත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයක කටයුතු කිරීමට නොහැකි බැවින් ඔහු වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බවයි.
ආයතන සංග්‍රහයේ 27(10) වගන්තිය අනුව රජයේ නිලධාරියෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ නඩුවක් හෝ අපරාධ නඩුවක් අධිකරණයකදී ගොනු වී ඇත්නම් ඔහුට එම තනතුරෙහි තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අල්ලස් හෝ දූෂණ පනතේ 162 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, අධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් එයට අයත් බව ද ඔහු සඳහන් කළේය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මහාධිකරණයේ නඩු පවරා ඇති නිසා ඔහුට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීමට නොහැකි බවත්, ඒ අනුව ඔහු වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම කටයුතු කළ යුතු බවට ඔහුගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොකළහොත් ඊළඟ පියවර ගැනීමට විරුද්ධ පක්ෂය කටයුතු කරන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.