නිදහස් පක්ෂයේ ලේකම් ධූරය ඉල්ලා දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය.
තමන් පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම මෙන්ම නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීම ද මීට පෙර ප්‍රතික්ෂේප වී තිබුණි.
එම නියෝගයට එරෙහිව ගොනුකළ අභියාචනය සලකා බැලූ සිවිල් අභියාචනාධිකරණය ද අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කිරීම මෙලෙස ප්‍රතික්ෂේප කරන ලදී.
අධිකරණ තීරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් පදවි දැරීම් තවදුරටත් නොවෙනස්ව පවතින අතර, අදාළ නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 08 වනදා පැවැත්වීමට නියම කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනය පහතින්,
- උපුටා ගැනීම -
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර කල ඉල්ලීම බස්නාහිර පලාත් බද සිවිල් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් පදවිය දැරීම හා නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති පදවිය දැරීම වළක්වාලන අතුරු ඉන්ජාශන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පනවන ලද නඩුවේදීත් එකී සහනයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නියෝගය නිශ්ප්‍රභා කොට තමා අයද සිටින සහනයන් ලබා දෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා අධිකරණයේ පවරන ලද නඩුව අද දින විභාගයට ගන්නා ලද අතර එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වය දැරීම වැළැක්වීම හා දුමින්ද දිසානායක ලේකම් ධූරයේ කටයුතු කිරීම වැලැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මූලික නඩු විභාගය 2027 ජනවාරි මස අටවෙනි දිනට නියම කරන ලදී
. - උපුටා ගැනීමඅවසන් -