අධිකරණ නියෝගයෙන් පසු ගාලු මුවදොර අසල තාවකාලික අට්ටාල ඉවතට
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කිරීමත් සමඟ, ගාලු මාර්ගය ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කර ගැනීමට සත්යග්රහයේ නිරත පිරිස් කටයුතු කර තිබේ.
අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇති අතර, එම නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට කියවා භාරදීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ සඳහා එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊයේ (15) සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියහ.