රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය - යූටියුබ්කරුවකුට උසාවි එන්නැයි නියෝගයක්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ වැඩසටහනකදී කාන්තාවකගේ නම ඊට සම්බන්ධ කිරීමෙන් ඇයට හිරිහැර කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්, ඔක්තෝබර් 28 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේකර යූටියුබ්කරු සුදත්ත තිලකසිරිට නියෝග කර ඇත.
තිලකසිරිගේ යූටියුබ් නාලිකාව සහ ටික්ටොක් ගිණුම් ඔස්සේ නඩුවට අදාළ ඕනෑම අන්තර්ගතය විකාශනය/සම්ප්‍රේෂණය නතර කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පෙත්සම්කරුගේ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝග නිකුත් කර තිබේ. ‘ක්ලැසික් සුදා’ නම් වැඩසටහනක් මගින් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා කාන්තාවකගේ නම අපහාසාත්මකව සම්බන්ධ කරමින් හානිකර අන්තර්ගතයන් විකාශනය කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥවරුන් කුසල් සේනානායක සහ මිගාර ගුණරත්න සමඟ අධිකරණයට පෙනීසිටිමින් පවසා ඇත්තේ, තිලකසිරිගේ ක්‍රියා හේතුවෙන් පෙත්සම්කාරිය හිරිහැර සහ වේදනාවට මුහුණ දී ඇති බවත්, ඇය පිළිබඳ අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව යුක්තිය ඉටුකිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත්ය.