ලොහාන් හා බිරිඳ ගැන අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!
නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී සොයාගැනුණි.
එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි, මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ.
අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වනදා රත්වත්තේ මහතාව කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අනුව රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියට වට්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියකට අනුව පසුගිය 4 වනදා ඇය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියාය.
එහිදී ඇයව ද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ අනුව සැකකාර රත්වත්තේ යුවළ අද පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.