මහජන බැංකු වෙන්දේසියට එරෙහිව දයා සමූහයේ රිට් පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Report

මහජන බැංකුව විසින් උකස් කරන ලද දේපළ වෙන්දේසි කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විනිසුරු ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දෙමින් පෙත්සම්කරුවන්ට රුපියල් මිලියනයක නඩු පිරිවැය ගෙවන ලෙසද නියෝග කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 1.42කට අධික හිඟ ණය මුදලක් අයකර ගැනීම සඳහා මහජන බැංකුව විසින් උකස් දේපළ පොදු වෙන්දේසියකින් විකිණීමට ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා සමාගම් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

පෙත්සම්කරුවන් පෙන්වා දුන්නේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, COVID-19 වසංගතය, ඉන්ධන අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු දැඩි බලපෑමකට ලක් වූ බවත්, එම තත්ත්වය ණය ආපසු ගෙවීමේ හැකියාවට බාධාවක් වූ බවත්ය.

එමෙන්ම බැංකුව නීතිවිරෝධී ලෙස තම බලතල භාවිතා කර ඇති බවත්, වෙන්දේසි ක්‍රියාවලියේ ක්‍රියාපටිපාටිමය දෝෂ පවතින බවත් ඔවුන් චෝදනා කළහ. කෙසේ වෙතත්, එම තර්ක අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර, හිඟ ණය අයකර ගැනීම සඳහා උකස් දේපළ වෙන්දේසි කිරීමේ නීත්‍යානුකූල බලය මහජන බැංකුව සතුව පවතින බව තීරණය කළේය. 2021 මාර්තු 26 දින බැංකුව විසින් සම්මත කළ යෝජනාවෙන් පසුවද පෙත්සම්කරුවන් සිය වගකීම් සම්පූර්ණයෙන් ඉටු කර නොමැති බව අධිකරණය නිරීක්ෂණය කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවස්ථා කිහිපයක් ලබා දී තිබියදීත්, ආපසු ගෙවීම් නිරන්තරයෙන් පැහැර හැර ඇති බව බැංකුව අධිකරණයට දැනුම් දී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අභියෝගයට ලක් කළ යෝජනාව 2021 මාර්තු මාසයේදී සම්මත කර තිබියදීත්, රිට් අයදුම්පත ගොනු කර ඇත්තේ 2022 නොවැම්බර් මාසයේදී බවයි.

දිට්වා හේතුවෙන් නැවතුන උඩරට දුම්රිය සිහිනය සැබෑවක් වෙයි

දිට්වා හේතුවෙන් නැවතුන උඩරට දුම්රිය සිහිනය සැබෑවක් වෙයි

එම ප්‍රමාදය සඳහා සතුටුදායක හේතුවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බවත්, ඔවුන් තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇති බවත් අධිකරණය සඳහන් කළේය.