මාලිමාව එකතු වෙන්නේ ස්වාධීන අය එක්ක විතරයි

Sri Lanka Politician Tilvin silva Sinhala news Local government election Sri Lanka 2025
By Mithu May 08, 2025 11:46 AM GMT
Mithu

Mithu

Report

ප්‍රතික්ෂේප කළ කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. කෙසේ නමුත් ස්වාධීන කණ්ඩායම් ලෙස මැතිවරණයට තරග කර ජයග්‍රහණය කළ අය ආණ්ඩුවට එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන් එක් කරගනිමින් සභා පිහිටුවා ඉදිරි කටයුතු කිරීමට සූදානම් බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත් පසු එදා එකට එක්ව ඡන්දය ඉල්ලීමට නොහැකිව වෙන වෙනම ඡන්දෙ ඉල්ලූ කුඩා පක්ෂ සියල්ල තම ප්‍රතිඵල එකතුකර ඔවුන්ට ඡන්දය වැඩි බවට තර්ක කිරීම යථාර්ථය හෝ සාධාරණය නොවන බවයි.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ස්වාධීනව තරගකර ජයග්‍රහණය කළ එක්වෙන්න කැමැති නම් ඒ පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බවය. ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“ජාතික ජන බලවේගය විශාල ආයතන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න සමත්වෙලා තිබෙනවා. සමහර තැන්වල ගැටලුවක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට, අනෙකුත් පක්ෂ එකතුවෙලා සමහර තැන්වල ජාතික ජන බලවේගයට වඩා මන්ත්‍රි සංඛ්‍යාව වැඩි තැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත්තට පස්සේ, එකට ඡන්දෙ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දෙ ඉල්ලපු කුඩා පක්ෂ ඔක්කොම තමන්ගේ ප්‍රතිඵල එකතුකරලා කිව්වොත් අපි තමයි වැඩි කියලා අපි හිතන්නේ. ඒක යථාර්ථය නෙමෙයි, සාධාරණත්වය නෙමෙයි.

අපි දැක්කා පසුගිය කාලේ මැතිවරණවල සමහරු අගෝස්තු මාසේ ජනාධිපතිවරණය කැඳවන්න හිටපු අය ඉන්නවා. නොවැම්බර් මාසයේ ජනාධිපති වෙන්න හිතන් අය හිටියා. මේ ප්‍රතිඵලත් එක්ක මම හිතන්නේ ඒ අයට ඒ හීනවලින් මිදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කාටවක්වත් සභාවක බලය ගන්න පුළුවන් තත්ත්වයක් හැදිලා නැහැ. සමහර අයට එකයි හම්බවෙලා තියෙන්නේ.

සමහර අයට දෙකයි හම්බවෙලා තියෙන්නේ. සමහර අයට තුනයි හම්බවෙලා තියෙන්නේ. හැබැයි මේ එක දෙක තුන හම්බ වුණු ඔක්කොම එකතුකරලා එක ගොඩක් හදාගෙන ඒකෙන් සභා පිහිටුවනවා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. නීතියෙන් බධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වුණ කණ්ඩායම්. ගණිතමය ලෙස තමයි මේ අපි දිනුවා කියලා පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේක ඉතා පැහැදිලිවම දේශපාලනය පැත්තෙන් ගත්තොත් මේ මැතිවරණය ජයගෙන තියෙන්නේ මාලිමාව. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ සියලුම ආයතනවල, අපි ජයගත් හැම ආයතනයකම සභාව පිහිටුවලා අපි රටේ කරගෙන යන සංවර්ධනය ව්‍යාපෘති අපට කරන්න පුළුවන්කම තියෙනවා.

ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ එක්ක එකතුවෙලා හවුල් ගහලා අපි සභා පිහිටුන්නේ නැහැ. ඒ අයටත් අපි දන්නේ නැහැ එහෙම පුළුවන්ද කියලා. සමහර තැන්වල අපි දන්නවා ඔය ස්වාධීනව ඉල්ලපු බොහෝ අය ඉන්නවා. එවැනි අය උදව්ව කරන්න ඉදිරිපත් වෙනවා නම් අපි කැමැතියි ඒ අයත් එක්ක වැඩකරගෙන යන්න”.

ඒ ආකාරයෙන් තමයි ඔහු ඒ ගැන අදහස් දැක්වුයේ.

ReeCha