මරීනා කැසිනෝව තුළ අයකුට පහරදීම - විමර්ශනය කඩිනම් කරන්නැයි කොමිසමෙන් නියෝගයක්
කොළඹ මරීනා කැසිනෝව තුළ පුද්ගලයෙකුට පහර දී රුපියල් ලක්ෂ ගණනක මුදලක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය නිසි විමර්ශනයක් සිදු නොකළ බවට එල්ල වූ චෝදනා පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
2023 ජූලි මාසයේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කැසිනෝවේ හිමිකරු රවී විජේරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ලකරුගේ කියුම් අනුව, කැසිනෝව තුළදී ඔහුට පහරදීමට ලක් වූ අතර, එමගින් තුවාල ලැබූ ඔහු රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගත් බවත්, එම සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කළද එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් සඳහන් වේ.
මෙම පැමිණිල්ල ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් පසු දීර්ඝ විමර්ශනයකට ලක් කිරීමෙන් අනතුරුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කර ඇත.
එසේම පැමිණිල්ලකරු විසින් ජනාධිපතිවරයා වෙතද මෙම සිද්ධිය දැනුම් දී තිබේ. එම නිසා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ (මහජන සම්බන්ධතා) එම්.එච්. නිමල් ප්‍රේමතිලක මහතා විසින් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කඩිනමින් සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී ඇත.