කොළඹ කොටුව සංචාරක කලාපයක් වෙයිද? - ලෝක බැංකුව සමඟ විශේෂ සාකච්ඡාවක්
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
කොළඹ කොටුවේ ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගනිමින් එය ආකර්ෂණීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සූදානම් බව එහි නියෝජිතයන් සඳහන් කර තිබේ. එමෙන්ම කෘෂි ව්‍යාපාර, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයන්හි රට අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම සඳහාද අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඔවුන් පෙන්වා දී ඇත.
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අමතරව, ස්වභාවික සෞන්දර්යය පදනම් කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ලෝක බැංකුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී Stephan Massing මහතා සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.