කොළඹ නගරයේ හිඟ වරිපනම් ආදායම් කෝටි 60යි

Report

කොළඹ මහ නගර සභාව මගින් හඳුනාගත් නොහැකි වරිපනම් ආදායම් විධිමත්ව රැස්කිරීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කොපා) එම සභාවට උපදෙස් ලබාදී ඇත.

කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟ වරිපනම් ආදායම් රුපියල් මිලියන 610.96ක ප්‍රමාණයකින් රුපියල් මිලියන 148ක මුදලක් දැනටමත් රැස්කර ඇති බව කොළඹ මහ නගර සභා නිලධාරීන් කොපා කමිටුවට දැනුම් දුන්හ. ඉතිරි මුදල් රැස්කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඔවුන් පැවසූහ.

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්තාව (කොයිකා) ව්‍යාපෘතිය මගින් වරිපනම් එකතුවීමේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට නව දත්ත පද්ධතියක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව කොපාවට දැනුම් දෙන ලෙසත්, එම පද්ධතිය භාවිතයෙන් වරිපනම් ආදායම් ක්‍රමවත්ව රැස්කිරීම තහවුරු කරන ලෙසත් කමිටුව උපදෙස් ලබාදුන්නේය.

මෙම තීරණ 2025 ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් කොපාව කැඳවූ රැස්වීමේදී ගන්නා ලද්දේ 2022-2023 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡාවකදීය. 

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව මාස 6ක් ඇතුළත කොළඹ කොටුවේ හිඟ ආදායම් රැස්කිරීම අවසන් කළ යුතුව තිබුණද, එය ක්‍රියාත්මක නොවූ බවට නිලධාරීන්ගෙන් විමසීමක් කළ කොපාව, එම කටයුතුවල සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබාදුන්නේය.

ඊට අමතරව, කොළඹ මහ නගර සභාවට ලැබෙන අනෙකුත් ආදායම් මාර්ග රැස්කිරීමට විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙළ සහ හඳුනාගත නොහැකි දේපළ සම්බන්ධයෙන් ගනු ලබන පියවරවල ප්‍රගතිය පිළිබඳව ද කොපාව දැනුම් දෙන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.