''CJP නායකයින් අත්අඩංගුවේ සිටියත් සටන නවත්වන්නේ නැහැ'' - විරෝධතාකරුවන්ගෙන් දැඩි තීරණයක්

Report

ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් එම ධුරයෙන් ඉවත් කරන තුරු දිනපතා විරෝධතා පාගමන් පවත්වන බව ප්‍රකාශ කරමින් Cockroach Janta Party (CJP) සහ ශිෂ්‍ය සංවිධාන අද (11) පෙරවරු 10ට නවදිල්ලියේ ජන්තර් මන්තර්හිදී තවත් විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මැතිවරණවලදී ඡන්ද සොරකම් කිරීම සහ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) සමඟ හවුල් වී කටයුතු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව මෙම විරෝධතා සංවිධානය කර ඇත.

සෙනසුරාදා (10) පොලිසිය විසින් විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවද, ඉන් තමන් පසුබට නොවන බව CJP නායකයෝ අවධාරණය කරති.

CJP ජාතික සංවිධාන කටයුතු භාර අජින්ක්‍යා ෂින්ඩේ ප්‍රකාශ කළේ, තම පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් විරෝධතා නතර කළ හැකි යැයි රජය සිතන්නට ඇති බවයි.

එහෙත් එවැනි ක්‍රියාමාර්ගවලින් විරෝධතාකරුවන්ගේ අරගලය නතර නොවන බව ඔහු සඳහන් කළේය.

පක්ෂයේ නිර්මාතෘ අභිජීත් ඩිප්කේ ඇතුළු ඉහළ පෙළේ නායකයන් අත්අඩංගුවේ පසුවන බැවින්, ඔවුන් වෙනුවට විරෝධතාව මෙහෙයවීමේ වගකීම ෂින්ඩේ වෙත පවරා තිබේ.

නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් විරෝධතා උත්සන්න වෙයි

සෙනසුරාදා නවදිල්ලියේ ජන්තර් මන්තර් ප්‍රදේශයේ රැස්වීමට CJP සංවිධානය කළ විරෝධතාවට අවසර ලබාදී නොතිබීම හේතුවෙන් පොලිසිය විරෝධතා මැඩපැවැත්වීමට පියවර ගෙන තිබුණි.

එහිදී පුද්ගලයන් 1,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව වාර්තා වූ අතර, ඔවුන් අතර හිටපු මහ ඇමතිවරුන් සිව්දෙනෙකු ද සිටියහ.

ඒ අතරට ආම් ආද්මි පක්ෂයේ අරවින්ද් කෙජ්රිවාල්, ත්‍රිණමූල් කොංග්‍රසයේ නායිකා මමතා බැනර්ජි, වාමාංශික නායක පිනරායි විජයන් සහ මනික් සර්කාර් ඇතුළත් වූහ. පසුව අත්අඩංගුවට ගත් බොහෝ දෙනකු මුදාහැර තිබේ.

කෙසේ වෙතත්, CJP නායක අභිජීත් ඩිප්කේ සහ එම පක්ෂයේ නායකයන් වන අශුතෝෂ් රන්කා සහ සෞරව් දාස් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඩිප්කේ අත්අඩංගුවේ සිටියදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ ගම්මානයේ ජීවත් වූ මිත්තණිය මියගොස් ඇති බව ද වාර්තා විය.

ඔහුට අවමංගල්‍යයට සහභාගි වීමට අවසර දෙන බව පොලිසිය පවසා තිබුණද, ඔහු මුදාහරිනු ලබන්නේද යන්න සම්බන්ධයෙන් සෙනසුරාදා සවස් වන විට පැහැදිලි තොරතුරක් වාර්තා වී නොතිබුණි.

විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය සිදුකළ ක්‍රියාමාර්ග හෙළා දුටු CJP නායකයෝ, අත්අඩංගුවට ගත් පිරිසට අමානුෂික ලෙස සැලකූ බවට ද චෝදනා කළහ.

රට පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් ශිෂ්‍ය සම්මේලනයේ (SFI) මහ ලේකම් සෘජන් භට්ටාචාර්ය ද රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කළේය.

ඉරිදා සිට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ශිෂ්‍ය විරෝධතා පැවැත්වෙනු ඇති බවත්, පොලිස් මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් නතර කරන සෑම ස්ථානයක්ම තවත් ජන්තර් මන්තර් ස්ථානයක් බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, කොංග්‍රසය ප්‍රමුඛ INDIA විපක්ෂ සන්ධානය ද සඳුදා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එදින එහි නායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු සූර්ය කාන්ත් හමුවී ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදීමට නියමිත බව ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇත. එම සන්ධානය සිකුරාදා ජනාධිපති ද්‍රෞපදී මුර්මු වෙත භාරදුන් සංදේශයේ ප්‍රධාන ඉල්ලීම් හතරක් ඇතුළත් විය.

සෞදිය ඇවිළෙයි - විශාල පිපිරීමක් - ජාත්‍යන්තර ගුවන් තොටුපළකට යළිත් ප්‍රහාරයක්

සෞදිය ඇවිළෙයි - විශාල පිපිරීමක් - ජාත්‍යන්තර ගුවන් තොටුපළකට යළිත් ප්‍රහාරයක්

 ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් ඉල්ලා අස්වීම සහ මැතිවරණ කොමසාරිස්වරුන්ට ජීවිත කාලය පුරාම මුක්තිය ලබාදෙන 2023 නීතිය අහෝසි කිරීම

ඡන්ද නාමලේඛන සම්බන්ධ විශේෂ දැඩි සංශෝධන ක්‍රියාවලිය (SIR) වහාම අත්හිටුවීම සහ ඉවත් කළ බව කියන ඡන්දදායකයන් කෝටි 13.3කගේ නම් නැවත ඇතුළත්

සියලු මැතිවරණ සඳහා කඩදාසි ඡන්ද පත්‍රිකා ක්‍රමය නැවත හඳුන්වාදීම.

පසුගිය වසර දෙක තුළ පැවැත්වූ, ඡන්ද සොරකම් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂි ඉදිරිපත් කර ඇති බව කියන සියලු ප්‍රාන්ත මැතිවරණ අවලංගු කිරීම.

දැඩි ආරක්ෂක පියවර මධ්‍යයේ විරෝධතා

නවදිල්ලියේ විරෝධතා පාලනය කිරීම සඳහා දිල්ලි පොලිසියේ සහ මධ්‍යම අර්ධ හමුදා බලකායන්හි සාමාජිකයන් 25,000කට අධික පිරිසක් යොදවා තිබූ බව වාර්තා වේ. එමෙන්ම දිල්ලි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 45ක පිවිසුම් වසා දමා තිබූ අතර, දුම්රිය 250කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබිණි.

ජන්තර් මන්තර් අවට කිලෝමීටර් හතරක ප්‍රදේශයක අන්තර්ජාල සේවා ද අත්හිටුවා තිබූ බව සඳහන් වේ.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රාහුල් ගාන්ධි සිය X ගිණුමේ සටහනක් තබමින්, නායකයන් සහ තරුණයන් අත්අඩංගුවට ගත්තද තමන් පසුබට නොවන බව ප්‍රකාශ කළේය.

තරුණයන්ගේ විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. අරවින්ද් කෙජ්රිවාල් ද විරෝධතාකරුවන්ට පවසා තිබුණේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ඔවුන් නතර කරන ඕනෑම ස්ථානයක් විරෝධතා භූමියක් බවට පත් කරන ලෙසයි.

මමතා බැනර්ජි ප්‍රකාශ කළේ රටේ තත්ත්වය හදිසි නීති තත්ත්වයකටත් වඩා බරපතළ වී ඇති බවයි.

කෙසේ වෙතත්, BJP ප්‍රකාශක රවි ශංකර් ප්‍රසාද් මැතිවරණ කොමසාරිස්වරයා සහ ඡන්ද නාමලේඛන සංශෝධන ක්‍රියාවලිය ආරක්ෂා කරමින් කියා සිටියේ ඉන්දියාව පාලනය විය යුත්තේ වීදිවලින් නොව පාර්ලිමේන්තුව මගින් බවයි.

මුම්බායිහි අගෝස්තු ක්‍රාන්ති මයිදාන් ප්‍රදේශයේ පැවති සහයෝගිතා විරෝධතාවකදී පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර මහත්මා ගාන්ධිගේ මී මුණුපුරා වන තුෂාර් ගාන්ධි සහ නළු ඉම්රාන් ඛාන් ද සිටි බව වාර්තා වේ.

අහමදාබාද් සහ චෙන්නායි ඇතුළු තවත් නගර කිහිපයකින් ද විරෝධතා සහ අත්අඩංගුවට ගැනීම් වාර්තා වී ඇත.

''ස්කූටරයෙන් ආ තරුණිය ටිපර් රථයේ ගැටී බෆරයේ එල්ලී බේරෙයි'' - දිවි බේරුණු හැටි මහාරාෂ්ට්‍රයේ CCTV කැමරාවේ පටිගතවෙයි

''ස්කූටරයෙන් ආ තරුණිය ටිපර් රථයේ ගැටී බෆරයේ එල්ලී බේරෙයි'' - දිවි බේරුණු හැටි මහාරාෂ්ට්‍රයේ CCTV කැමරාවේ පටිගතවෙයි