තේ කොළ පෙට්ටි අතර සඟවාගෙන ආ කෝටි 3කට අධික දුම්වැටි තොගය හෙළිවෙයි – චීන ව්‍යාපාරිකයින් 13ක් කටුනායකදී දැලේ

Report

රුපියල් තුන් කෝටි දහඅට ලක්ෂ අනූදහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (18) අලුයම් කාලයේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනාම චීන ජාතික ව්‍යාපාරිකයන් බව අනාවරණය වී ඇත.

ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිට මැලේසියානු ගුවන් සේවයට අයත් MH-179 දරන ගුවන් යානයෙන් අද අලුයම 4.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බව සඳහන් වේ.

රේගු නිලධාරීන්ට සැකසහිත වූ මෙම මගීන්ගේ ගමන් මලු සහ තේ කොළ අඩංගු පෙට්ටි පරීක්ෂා කිරීමේදී, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 212,600ක් අඩංගු දුම්වැටි කාටූන් 1,063ක් සඟවා තිබියදී සොයාගෙන ඇත.

මෙම දුම්වැටි තොගය ගුවන්තොටුපොළේ "හරිත මාවත" (Green Channel) ඔස්සේ කිසිවක් ප්‍රකාශ නොකර පිටතට රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ දුම්වැටි තොගය මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ රේගු භාරයේ රඳවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.