ගම්මන්පිල, වීරවංශ හා දිලිත් පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට බාධා කරනවා - CIDය අධිකරණයට දැනුම්දෙයි
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සමඟ එක්ව උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන දේශපාලන ක්‍රියාකාරීන් වත්මන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුළුල් විමර්ශන කටයුතුවලට සෘජුවම බාධා පමුණුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද 08 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට මේ දක්වා කාලය පුරාවටම සිදුකරන විමර්ශන කටයුතු සඳහා කිසිදු සාධනීය සහයක් ලබා නොදෙමින් හිතාමතාම කටයුතු කරන බවයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සඳහන් කළේ.
මීට අමතරව සුරේෂ් සලේ මහතා මුල් අවස්ථාවේ සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට එරෙහිව පදනම් විරහිතව සහ අනීතිකව විවිධ චෝදනා එල්ල කරමින් කටයුතු කරන බව ද එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.
සැකකරු විසින් ඉතා සැලසුම් සහගත ආකාරයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා 2 කදී ඔහුව වෛද්‍ය පරීක්ෂාවට ලක් කර රුධිරයේ සීනි මට්ටම බරපතළ ලෙස අඩු වී ඇතැයි නිල වශයෙන් තහවුරු කිරීමෙන් පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ද රජයේ විමර්ශන අංශ පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉතා සාධනීය මෙන්ම අතිශය සංවේදී කරුණු රැසක් විමර්ශනවලදී අනාවරණය වෙමින් පවතින මොහොතක, ඊට දැඩි ලෙස බාධා කරමින් සහ ඉදිරියේදී සාක්ෂිකරුවන් විසින් තවදුරටත් වැදගත් කරුණු හෙළිදරව් කිරීම වැළැක්වීමේ පටු අරමුණින් සැකකරු චේතනාන්විතව මෙලෙස කටයුතු කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුව ඊයේ (08) දින ගොනු කළ නිල වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙයි.
විශේෂයෙන්ම විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් කෙරෙහි සමස්ත මහජනයා තුළ වෛරී හැඟීමක් සහ දැඩි අප්‍රසාදයක් කෘතිමව ඇති කර, මෙම වැදගත් විමර්ශනයට එරෙහිව සාමාන්‍ය ජනතාව මහමඟට රැස් කර පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය කෙරෙහි දැඩි මහජන විරෝධතාවයක් ඇති කරවීමට මොවුන් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවට විමර්ශන නිලධාරීන් චෝදනා කරයි.
මෙම සමස්ත විරෝධතා ක්‍රියාදාමය සහ සැලසුම් සහගත වැඩපිළිවෙල උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සෘජුවම සම්බන්ධ පුද්ගලයන්ගේ මෙහෙයවීම සහ න්‍යාය පත්‍ර මත සිදු කරනු ලබන බවට තමන්ට පැහැදිලිවම නිරීක්ෂණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.