රුසියාවට ආයුධ දෙන කිම්ව හමුවන්න ෂී ජින්පිං උතුරු කොරියාවට
චීන ජනරජය සහ උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං ලබන සතියේ උතුරු කොරියාවට සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ඔහු අවසන් වරට උතුරු කොරියාවට සංචාරය කළේ 2019 ජුනි මාසයේදී වන අතර, මෙය වසර හතකට ආසන්න කාලයකට පසු සිදුවන ප්‍රථම සංචාරය ලෙස සැලකේ.
උතුරු කොරියාව මෑත වසරවලදී රුසියාව සමඟ දේශපාලන සහ ආරක්ෂක සබඳතා වැඩිදියුණු කර ඇති අතර, යුක්රේනයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට හමුදා සහ ආයුධ ආධාර ලබා දී ඇති බවද වාර්තා වේ.
මෙම පසුබිම තුළ චීනය උතුරු කොරියාව සමඟද තම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේදී චීනය උතුරු කොරියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්ව ඇති අතර, දෙරට අතර ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව සඳහන් වේ.
උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ චීන නායකත්වය දිගුකාලීන මිත්‍ර සබඳතා පවත්වාගෙන යන අතර, මෙම ඉදිරි සංචාරය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.