මානවරූපී චීන රොබෝවරුන්ගේ ආයෝජන ලොව කළඹයි - ඇමරිකාව සමග සුපිරි සටනකට පිවිසෙයි
ඇමරිකාව සමග සුපිරි සටනකට පිවිසෙයි ලොව විශාලතම මානවරූපී රොබෝ නිෂ්පාදකයෙකු වන චීනයේ Unitree Robotics සමාගම බදාදා ෂැංහයි කොටස් වෙළඳපොළේ සිය මංගල වෙළඳාම ආරම්භ කර තිබේ.
සමාගමේ මූලික කොටස් නිකුතුව (IPO) යටතේ කොටසක් යුවාන් 1,100ක මිලකට විවෘත වූ අතර, එය ආරම්භක වෙළඳාමේදී 600%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කළේය. පසුව එම ඉහළ යාමෙන් කොටසක් පහළ ගිය අතර, කොටසක් යුවාන් 900කට ආසන්න මිලකට වෙළඳාම් විය.
තාක්ෂණික සමාගම් සඳහා වෙන් වූ ෂැංහයි හි Star Market වෙළඳපොළේ ලැයිස්තුගත වීම, චීනයේ රොබෝ තාක්ෂණ කර්මාන්තය ලොව ප්‍රමුඛස්ථානයට ගෙන ඒම සඳහා බීජිං පාලනය දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
එමෙන්ම, රොබෝ තාක්ෂණය සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෘත්‍රිම බුද්ධි (AI) ආකෘති සම්බන්ධයෙන් ගෝලීය වෙළඳපොළේ ආධිපත්‍යය ලබා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින තරගයද මේ වනවිට උග්‍ර වී තිබේ.
Unitree Robotics යනු කුමක්ද? Unitree Robotics, නිල වශයෙන් Yushu Technology Co Ltd ලෙස හඳුන්වන සමාගම, 2016 වසරේදී ආරම්භ කර ඇති අතර චීනයේ දියුණු තාක්ෂණික කර්මාන්තය ඉදිරියට ගෙන යාමේදී වැදගත් සමාගමක් බවට පත්ව තිබේ.
සංවේදක සහ ස්වයංක්‍රීය රොබෝ අත් සිට සිව්පා සහ මානවරූපී රොබෝ දක්වා විවිධ නිෂ්පාදන සමාගම විසින් වෙළඳපොළට නිකුත් කර තිබේ. පසුගිය වසරේදී පමණක් සමාගම මානවරූපී රොබෝ යන්ත්‍ර 5,500කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර, 2025 වසරේදී යුවාන් මිලියන 278ක ශුද්ධ ලාභයක්ද වාර්තා කර තිබේ.
ඇමරිකානු සමාගම් සමඟ දැඩි තරගයක නිරත වන Unitree සමාගම, සමාන හැකියාවන් සහිත රොබෝ යන්ත්‍ර සාපේක්ෂව අඩු මිලකට ලබාදීම හේතුවෙන් අවධානය දිනාගෙන ඇත.
සමාගමේ මූලස්ථානය නැගෙනහිර චීනයේ Hangzhou නගරයේ පිහිටා ඇති අතර, එම ප්‍රදේශය රොබෝ තාක්ෂණ සමාගම් රැසක් එක්වී ඇති ප්‍රධාන කලාපයක් ලෙස සැලකේ.
චීන රජයේ විශාල ආයෝජන සහ සහයෝගය හේතුවෙන් 2020 සිට 2024 දක්වා කාලය තුළ එරට රොබෝ තාක්ෂණ සමාගම් සංඛ්‍යාව තුන් ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මිලෙන්ද චීන රොබෝවරු ඉදිරියෙන් චීනයේ වයස්ගත ජනගහනය හේතුවෙන් අනාගතයේදී ඇතිවිය හැකි ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙසද රොබෝ තාක්ෂණය සැලකේ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඇමරිකානු රොබෝවරුන්ගේ මෘදුකාංග වඩාත් පරිශීලක හිතකාමී වුවද, චීන නිෂ්පාදකයන් ඉදිරිපත් කරන අඩු මිල නොසලකා හැරීම අපහසු බවයි.
උදාහරණයක් ලෙස, Unitree සමාගමේ රොබෝ සුනඛයන්ගේ මිල ඇමරිකානු ඩොලර් 2,700කින් පමණ ආරම්භ වන අතර, Boston Dynamics සමාගමේ Spot නම් සිව්පා රොබෝ යන්ත්‍රය ඩොලර් 70,000කට ආසන්න මිලකට අලෙවි වේ.
Unitree සමාගම 2023 වසරේ සිට මානවරූපී රොබෝවරුන් අලෙවි කරමින් සිටින අතර, එහි G1 මාදිලිය 2024 වසරේදී වෙළඳපොළට හඳුන්වා දී තිබේ.
ලෝක අවධානය දිනාගත් Unitree රොබෝවරු Unitree රොබෝවරුන් මේ වනවිට දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයකද කේන්ද්‍රස්ථානය වී තිබේ. බීජිංහි පැවැත්වෙන 2026 ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙලටද එම සමාගමේ රොබෝවරු සහභාගී වෙති.
එහිදී දිවීම සහ පාපන්දු වැනි ක්‍රීඩා මෙන්ම පෙට්ටි විවෘත කිරීම සහ පුස්තකාල පොත් වර්ග කිරීම වැනි ක්‍රියාකාරකම්වලද රොබෝවරු තරග කරති. මේ වසරේ පෙබරවාරි මාසයේ චීනයේ වසන්ත උත්සව විශේෂ වැඩසටහනකදී Unitree G1 රොබෝවරුන් ඉදිරිපත් කළ සටන් කලා ආශ්රිත ක්‍රියාකාරකම්ද විශාල අවධානයක් දිනා ගත්තේය.
රොබෝ කර්මාන්තයේ නව සන්ධිස්ථානයක්ද? විශේෂඥයන් පෙන්වා දෙන්නේ Unitree සමාගමේ කොටස් වෙළඳපොළ ප්‍රවේශය වේගයෙන් වර්ධනය වන මානවරූපී රොබෝ කර්මාන්තය සඳහා ආයෝජකයන්ගේ උනන්දුව මැන බැලීමට වැදගත් දර්ශකයක් විය හැකි බවයි.
මෙම ලැයිස්තුගත වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට මානවරූපී රොබෝ සමාගමක ආයෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙන අතර, එය අනෙකුත් චීන රොබෝ නිෂ්පාදකයන්ටද නව මාර්ගයක් විවෘත කළ හැකි බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, කර්මාන්තශාලා සහ වාණිජ ස්ථානවලින් ඔබ්බට නිවෙස් වැනි ස්ථානවල මානවරූපී රොබෝවරුන් සඳහා ඇති ඉල්ලුම පිළිබඳව ඇතැම් විශේෂඥයන් තවමත් සැක පළ කරති.
නිවෙස් තුළ ඵලදායී ලෙස ක්‍රියා කළ හැකි මට්ටමට රොබෝ තාක්ෂණය පැමිණීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇති බවත්, බැටරි ආයු කාලය, පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය වැනි ගැටලු විසඳිය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
චීනය සහ ඇමරිකාව අතර තාක්ෂණික තරගය රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය මේ වනවිට ඇමරිකාව සහ චීනය අතර පවතින තාක්ෂණික තරගයේ ප්‍රධාන ක්ෂේත්‍ර බවට පත්ව තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය ජාතික ආරක්ෂාව සහ ඇමරිකානු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් චීනයේ නිෂ්පාදිත නව මානවරූපී සහ සිව්පා රොබෝවරුන් සම්බන්ධයෙන් සීමා පැනවීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාව වෙළඳ ගැටලු දේශපාලනීකරණය කරන බවට චෝදනා කර තිබේ. මේ අතර, Tesla, Amazon සහ Hyundai සමඟ සම්බන්ධ Boston Dynamics වැනි ප්‍රධාන සමාගම්ද මානවරූපී රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් දැවැන්ත ආයෝජන සිදු කරමින් සිටිති.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ කර්මාන්තශාලා සහ අනෙකුත් සේවා ස්ථානවල රොබෝ භාවිතය ඉදිරි වසරවලදී වේගයෙන් වර්ධනය විය හැකි නමුත්, නිවෙස් තුළ පුළුල් ලෙස භාවිත කිරීම සඳහා තවමත් තාක්ෂණික බාධක රැසක් පවතින බවයි.
කෙසේ වෙතත්, Unitree සමාගමේ කොටස් වෙළඳපොළ ප්රවේශයත් සමඟ චීනය ගෝලීය රොබෝ තාක්ෂණ ක්ෂේත්රයේ ඉදිරියට පැමිණ ඇති බව තවදුරටත් පැහැදිලි වන බව විශේෂඥයෝ පෙන්වා දෙති.