චෙම්මනි සමූහ මිනීවළ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මෙන්න
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් තීරණය කර ඇත්තේ අපරාධයක් සිදු වූ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම්කර ඇති චෙම්මිනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
එම ස්ථානයේ කැණීම් කළ නිලධාරීන් පවසන්නේ එතැන තිබී ළමයින් ඇතුළු පුද්ගල ඇට සැකිළි 222ක් පමණ සොයාගෙන ඇත.
යාපනයේ නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් අධිකරණයට පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිසන් එම ස්ථානයේ කැණීම්වල නිරත වූ කාර්ය මණ්ඩලයට, අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුලවල සාමාජිකයන්ට බලපෑම් කරන බවයි. මේ පිළිබඳ විස්තරයක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති වාර්තාවේ ද දක්වා ඇත.
ඒ පිළිබඳ අවධානය යොමුකර එලෙස වින්දිතයන්ට සහ රාජකාරියේ නිරත කාර්ය මණ්ඩලයට හිරිහැර සහ බලපෑම් කිරීමෙන් වළකින්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්න යැයි ද මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාව චෙම්මනී සමූහ මිනීවළ සම්බන්ධ පළමු වාර්ථාව සැකසීමේ දී, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) කාර්ය මණ්ඩලය, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාධාරින් සහ අතුරුදහන් වූ අයගේ ඥාතීන් සමග සාකච්ඡා කර ඇත.
එමෙන් ම කැණීම් කටයුතු අධීක්ෂණය කරන පුරාවිද්‍යාඥ ජ්‍යෙෂ්ට මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය මහේස්ත්‍රාත් අමලවන් ආනන්දරාජා, අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පරනවන්, සහ මුලික විමර්ශන භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මුණ ගැසී ඇත. එමෙන් ම ගොඩගත් අස්ථි කොටස් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගබඩා කර ඇති ආකාරය ද මානව හිමිකම් කොමිෂම විසින් නිරීක්ෂණය කර ඇත.
මෙහි දී මානව හිමිකම් කොමිෂමට අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ඇඳුම් නොමැතිව නිරුවත්ව වළ දමා ඇති බවයි එබැවින් එහි අවමංගල චාරිත්‍ර සිදුකර නැති බව පෙනී යයි. එමෙන්ම එම සිරුරු එකිනෙක ඉතා සමීපව නොගැඹුරු ලෙස වළ දමා ඇති බැවින් ඒවා නීති විරෝධී ඝාතනවලින් පසු වළ දමා ඇතැයි සාධාරණ සැකයක් ඇති බව මානව හිමිකම් කොමිෂම පෙන්වා දී ඇත.
එබැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. චෙම්මනී කැණීම් කටයුතු අඛණ්ඩව වාර්තා කරන කුමනන් කනපතිපිල්ලෙයි නමැති මාධ්‍යවේදියා පොලිසියේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රශ්න කිරීම මාධ්‍යවේදීන් බිය වැද්දීමේ ක්‍රියාවක් බව ද මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් කර ඇත.
කැණීම් කටයුතුවල යෙදී සටින නිලධාරීන්ට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් එල්ලවන බැවින්, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව චෙම්මනී සමූහ මිනීවළ සමඟ සෘජු සම්බන්ධයක් ඇතැයි සැකයක් පවතින බැවින්, පොලිස් නිලධාරීන් විමර්ශනයට සම්බන්ධ වී සිටීම මෙහි පරීක්ෂණවලට හානිකර වේ යැයි ද සඳහන් කර ඇත. එවැනි අගතියක් සිදුවීම වළක්වාගැනීමට නම් රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන බරපතළ අපරාධ විමර්ශනය සඳහා කාර්යාලයක් ස්ථාපිත කළ යුතු බවට ද මානව හිමිකම් කොමිෂම පෙන්වා දී ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ
1. නීතිඥවරුන් සහ සිවිල් සමාජ නියෝජිතයින් ඇතුළු අදාළ සියලුම විශේෂඥයින් සමඟ සමීප සාකච්ඡා පවත්වමින්, සමූහ මිනී වළවල් ඇති ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් ගොඩනැගීම
2. චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලය සහ සියලුම රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කේන්ද්‍රීය නිලධාරියෙක් පත් කරන්න.
3. අදාළ ප්‍රදේශයේ තවත් මිනිස් අවශේෂ ඇත්දැයි වඩාත් පුළුල් ලෙස ඇගයීම සඳහා සමූහ මිනී වළ ඇති ස්ථානයේ මෙන් ම ඒ අවට ද පුළුල් ප්‍රදේශයක් පරීක්ෂා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පොළව විනිවිද යන රේඩාර් (GPR) උපකරණ භාවිතය සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට කඩිනම් පියවර ගන්න.
4. පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායම් වැනි ප්‍රමුඛ මානව සම්පත් ලබාගැනීමේදී සහ එවැනි සම්පත් වෙන් කිරීමේදී චෙම්මනි හි විමර්ශනය සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගන්න.
5. සමූහ මිනී වළවල් කිහිපයක් ආශ්‍රිතව කැණීම් කටයුතු කිරීමට සහ (වළදමා ඇති දෑ) ගොඩගැනීමට අවශ්‍ය විටක සහාය වීමට හැකි පුරාවිද්‍යා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩනගන්න.
6. මෙම මිනිස් අවශේෂවලින් ලබා ගත් DNA සාම්පල විශ්වසනීයව සහ ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා අදාළ විශේෂඥ්‍යතාව සහ තාක්ෂණික පහසුකම් විදේශයන්ගෙන් ද ඇතුළුව ලබාගන්න.
7. අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ DNA සාම්පල ස්වේච්ඡාවෙන් ලබාගෙන අනාගත සංසන්දනය කිරීමේ කටයුතු සඳහා ආරක්ෂිතව ගබඩා කළ හැකි ‘DNA බැංකුවක්’ ඇති කිරීමට පියවර ගන්න.
8. චෙම්මනි හි සමූහ මිනීවළෙන් සොයාගත් මිනිස් අවශේෂ විශ්වසනීයව සහ ස්වාධීනව කාල නිර්ණය කිරීමේ කටයුතු සඳහා, විශේෂයෙන්ම 14C කාබන් කාලනිර්ණ ක්‍රමය භාවිතා කිරීමට, විදේශයන්ගෙන් අදාළ විශේෂඥතාව සහ තාක්ෂණික පහසුකම් ලබාගන්න.
9. සමූහ මිනී වළවල් පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුවන අනෙකුත් සියලු ම විමර්ශන සම්බන්ධයෙන් ද ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න.
10. ආරක්ෂක හමුදා සාමාජිකයින් හෝ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් සිදු කළා යැයි චෝදනා එල්ල වී ඇති බලහත්කාරයෙන් සිදුකළ අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ඇතුළු සිදුවීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පුළුල් බලතල සහිත ස්ථිර, ස්වාධීන “රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා වන කාර්යාලයක්” පිහිටුවීමට පියවර ගන්න.
11. දැනට ක්‍රියාත්මක ඕනෑම විමර්ශනයක් අතරතුර දී අදාළ නොවන සහ එදිරිවාදී ප්‍රශ්න කිරීම් නොකිරීම ද ඇතුළුව, ඕනෑම රාජ්‍ය නිලධාරියකු හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් බිය ගැන්වීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත් කරන්න.
12. විමර්ශනයක් පවත්වන විටක දී, ප්‍රකාශයක් ලබා දීමට පුද්ගලයෙකු කැඳවන හේතුව එම පුද්ගලයාට පැහැදිලිව දැනුම් දීම සඳහා 2025 ජූලි මස 02 දිනැති පොලිස්පති විසින් නිකුත් කළ RTM 101/CRTM 61 චක්‍රලේඛයට අනුවම කටයුුතු කරන්න.
13. නිශ්චිත වරදක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින පැහැදිලි අවස්ථාවන්හි දී හැර, චෙම්මනි හි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනය ආවරණය කරන මාධ්‍යවේදීන් කැඳවීමට විමර්ශන බලතල අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙසත් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ටාසය වෙත උපදෙස් නිකුත් කරන්න.
14. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු, සිවිල් සමාජ නියෝජිතයකු, හෝ අතුරුදන් වූ පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයකු සම්බන්ධ කර ගැනීම ද ඇතුළුව, චෙම්මනි හි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ට පැහැදිලි නියෝග නිකුත් කරන්න. 15. වෝහාරික මානව විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් ලබා ගන්නා වෛද්‍ය සිසුන්ට අදාළ වර්තමාන පුහුණු අවශ්‍යතා සමාලෝචනය කිරීමට පියවර ගන්න. එසේම මෙම විෂයට අදාළ විදේශ පුහුණු කාලය රාජ්‍ය අරමුදල් සහිතව වසරකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් සලකා බලන්න.
15. විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වෝහාරික පුරාවිද්‍යාව පිළිබඳ දේශීය විශේෂඥතාව දිරිගැන්වීම සහ වර්ධනය කිරීම සඳහා සැලැස්මක් සකස් කරන්න
16. සායනික ජාන විද්‍යා ඒකකයක් ඇති කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ නිදහස් කිරීම සඳහා වැට් බද්දෙන් නිදහස් කිරීමේ නිවේදනයක් ශ්‍රී ලංකා රේගුවට නිකුත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සලකා බැලීම.