අම්මෝ කෝටි 13ක්... බැංකු කැෂියර් කල්ල මරේ....සුපිරි බිස්නස් එක
බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක පමණ මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ ගිණුම් සදහා බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයෙකු ඊයේ (30) අත්අඩංගුවට ගැණුනා.
ඔහුට වට්ස්ඇප් හරහා තරුණියක් ඇමතුමක් ලබාදී දැනුම් දී ඇත්තේ තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක පොලී මුදලක් ලබා ගත හැකි බවටයි.
ඒ අනුව සැකකරු විසින් එදින රුපියල් තිස්දහසකක මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට බැර කර ඇති අතර එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක මුදලක් සැකකරුට ලැබී තිබෙනවා.
ඒ අනුව ඊයේ දින රාජකාරී සඳහා කඩුවෙල පිහිටි අදාළ බැංකු ශාඛාවට පැමිණි සැකකරු, එහි තිබූ රුපියල් දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකථන ඇමතුම් ලබා දුන් තරුණිය විසින් ලබාදෙන විවිධ ගිණුම් සඳහා එක් දිනක් තුළදී බැර කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
ඔහු අදාළ බැංකු ශාඛාවේ ප්‍රධාන අයකැමිවරයා නිසා එම බලය උපයෝගී කරගෙන බැංකුව සතු ගිණුම්වලින් මෙලෙස මුදල් ගිණුම් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවා. එලෙස දුරකථන ඇමතුම ලබා දුන් තරුණිය ලබා දෙන ගිණුම් සඳහා මුදල් බැර කරන අතර බැංකුවේ මුදලින් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමටද බැර කරගෙන ජංගම දුරකථන මෘදුකාංගය ඔස්සේ එම මුදලද නොයෙක් ගිණුම්වලට බැර කර ඇතැයිද අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ඔරුවල සඳසිරිපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අදාළ බැංකුවේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ඔහුගේ බිරිඳ ද එම රාජ්‍ය බැංකුවේම වෙනත් ශාඛාවක රාජකාරී කරන බව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය වාර්තා වූ දිනය අවසානයේදී බැංකුවේ මුදල් තුලනය කිරීමට යාමේදී විශාල හිඟයක් පවතින බවට සැලවීම මත එම බැංකු ශාඛාවේ කළමනාකරු විසින් කඩුවෙල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී ඔහු මුදල් බැර කරන ලද ලදුපත් පහළොවකට ආසන්න ප්‍රමාණයක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවා.
