හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනාවට අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.
මෙම නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවා තිබේ.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 14වනදා කැඳවන ලෙස නියම කර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව අල්ලස් කොමිසම ගොනු කර තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර තිබේ.