කැරම් බෝඩ් නඩුව ඉදිරි දිනයක දී කැඳවීමට මහාධිකරණය නියම කරයි
කැරම් බෝඩ් දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් වරදකරුවන් වී බරපතළ සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන තවත් විශේෂ නඩුවක් එළඹෙන ජූලි මස 23 වැනිදා නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.
මෙම නඩුව අද 26 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ නිල වශයෙන් කැඳවීමට නියමිතව තිබුණි.
එහෙත් විනිසුරු බුද්ධික සී රාගල මහතා අද දින විශේෂ රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුව අද දින මහාධිකරණයේදී කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරිපිටයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සියල්ල සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා එළඹෙන ජූලි මස 23 වැනිදා මහාධිකරණය හමුවේ කැඳවන ලෙස නියෝග කළේය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි ප්‍රධාන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින වරදකරුවන් වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් විසින් විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවකට සිටි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් රජයේ මුදලින් සාවද්‍ය ලෙස මිලදී ගෙන දේශපාලන වශයෙන් බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39 ක අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදු කළේ යැයි සාක්ෂි සහිතව චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ මෙම නඩුව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මහාධිකරණයේ ගොනු කර තිබේ.