SLS එකත් හොරට ගහලා - කුරුණෑගල හෙරලියවලදී ව්‍යාජ හිස්වැසුම් හසුකරගත් CAA වැටලීම

Report

කුරුණෑගල, හෙරලියවල කාර්මික වතුයායේදී ව්‍යාජ ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සලකුණ සහිත ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය කර අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) නීතිමය පියවර ගෙන තිබේ.

CAA කුරුණෑගල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ජූලි 27 වැනිදා සිදු කළ විශේෂ වැටලීමකදී, ව්‍යාජ SLS සහතික ලකුණ යොදා තිබූ ආරක්ෂිත හිස්වැසුම් 57ක් පරිශ්‍රයේ ගබඩා කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ජූලි 31 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, එහිදී විත්තිකරු වරද පිළිගෙන තිබේ. අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 80,000ක දඩයක් නියම කර ඇති අතර, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ අත්අඩංගුවට ගත් හිස්වැසුම් සියල්ල විනාශ කිරීමට ද නියෝග කර ඇත.

ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන, ව්‍යාජ SLS සලකුණු සහිත භාණ්ඩ හෝ පාරිභෝගිකයන් නොමඟ යැවිය හැකි නිෂ්පාදන නිෂ්පාදනය හෝ අලෙවි කරන පුද්ගලයන් සහ වෙළෙඳුන් පිළිබඳ තොරතුරු 1977 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.