කිලියන් එම්බාපේ ලෝක කුසලානය කළඹයි - ප්‍රංශය සුරක්ෂිතව අවසන් 16ට
කිලියන් එම්බාපේගේ විශිෂ්ට ගෝල ද්විත්වයත් සමඟ ස්වීඩනයට එරෙහිව 3-0ක පහසු ජයක් වාර්තා කළ ප්‍රංශය, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම තරගයේ ගෝල දෙකත් සමඟ එම්බාපේ ලෝක කුසලාන ඉතිහාසයේ සිය සමස්ත ගෝල සංඛ්‍යාව 18 දක්වා ඉහළ නංවා ගනිමින්, වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය.
ඔහුට ඉදිරියෙන් සිටින්නේ ගෝල 19ක් රැස් කළ ලයනල් මෙසියි. ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝසේගේ ගෝල 16ක වාර්තාව ද එම්බාපේ මේ වන විට පසුකර ඇත. කාණ්ඩ තරග සියල්ල ජයගෙන ඉදිරියට පැමිණි ප්‍රංශය, පළමු අර්ධයේ සිටම තරගය සම්පූර්ණයෙන් පාලනය කළේය.
විවේකයට පෙර ගෝලය දෙසට ප්‍රහාර 15ක් එල්ල කළ අතර, එම්බාපේගේ එක් ගෝලයක් ඔෆ්සයිඩ් (Offside) තීරණය හේතුවෙන් අවලංගු වූ අතර තවත් ප්‍රහාරයක් ගෝල් කණුවේ වැදී ආපසු පැමිණියේය.
මයිකල් ඔලිසේගේ අලංකාර බයිසිකල් පහරක්ද ගෝල් රාමුවේ වැදී ගියේය. පළමු අර්ධයේ අවසන් මොහොතේ වම්පසින් ලබාගත් කෙටි කෝනර් අවස්ථාවකින් පන්දුව භාරගත් එම්බාපේ දඬුවම් කලාපයට ඇතුළු වී එල්ල කළ ප්‍රබල පහර ප්‍රංශයට පළමු ගෝලය ගෙන ආවේය.
දෙවැනි අර්ධය ආරම්භ වූ පසුවද ප්‍රංශයේ ප්‍රහාරාත්මක ක්‍රීඩාව අඛණ්ඩව පැවති අතර, මයිකල් ඔලිසේගේ නිවැරදි පන්දු යැවීමකින් බ්‍රැඩ්ලි බාර්කෝලා 53 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය වාර්තා කළේය.
ස්වීඩන් ගෝල රකින්නා ජේකබ් විඩෙල් සෙටර්ස්ට්‍රොම් ජූල්ස් කුන්ඩේ සහ මයිකල් ඔලිසේගේ ප්‍රහාර කිහිපයක් සාර්ථකව වළක්වා නොගත්තේ නම්, ප්‍රංශයට තවත් ගෝල රැසක් හිමි වීමට ඉඩ තිබුණි.
74 වැනි මිනිත්තුවේදී යළිත් ඔලිසේ ලබාදුන් විශිෂ්ට පන්දු යැවීමකින් ප්‍රයෝජන ගත් එම්බාපේ සිය දෙවැනි ගෝලයත් ප්‍රංශයේ තෙවැනි ගෝලයත් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කළේය.
මෙම ජයත් සමඟ ප්‍රංශය ජූලි 4 වැනිදා ෆිලඩෙල්ෆියා ක්‍රීඩාංගණයේදී පැරගුවේ කණ්ඩායම සමඟ පැවැත්වෙන අවසන් 16 දෙනාගේ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.