පොත් කියවන්නන්ට අසුබ ආරංචියක් - අය කරන බද්ද ඉහළට
මුද්‍රිත පොත් සඳහා පනවා ඇති අධික බදු බර හේතුවෙන් ගතවූ වසර තුනක කාලය තුළ මෙරට ලේඛකයන්ගෙන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් තම වෘත්තියෙන් ඉවත්ව වෙනත් රැකියාවලට යොමුවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.
එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට පොත් ප්‍රකාශන ආයතනවලින් සියයට 40ක් පමණ ක්ෂේත්‍රය හැරගොස් ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.
මුද්‍රිත පොත් සඳහා ප්‍රථම වරට 2023 වසරේදී පනවන ලද එකතු කළ අගය මත බද්දසහ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් පොත්වල නිෂ්පාදන පිරිවැය සහ වෙළෙඳපොළ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එය අලෙවිය දැඩි ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ.
ලෝකයේ රටවල්වලින් සියයට 95ක ප්‍රමාණයක මෙන්ම ආසියානු කලාපයේ කිසිදු රටක මුද්‍රිත පොත් සඳහා මෙලෙස බදු අය නොකරන බව ද ප්‍රකාශකයින්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙරට අධ්‍යාපන හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා මුද්‍රිත පොත් මත පනවා ඇති වැට් ඇතුළු සියලු බදු කඩිනමින් ඉවත් කර සහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගාමිණී මොරගොඩ මහතා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.