සීමා හේතුවෙන් ඩොලර් මිලියන 8ක ආයෝජනයක් අනතුරේ [VIDEO]

Economy of Sri Lanka Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Jun 20, 2025 06:35 AM GMT
Shehan

Shehan

Report

ලෝකයේ ප්‍රමුඛ ෆෝම් මෙට්‍රස් නිෂ්පාදන සමාගමක අනුබද්ධිත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද, ඩොලර් මිලියන 8ක ආයෝජනයක් සහිත කර්මාන්තශාලාවක්, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ (BOI) සීමාවන් හේතුවෙන් වසා දැමීමේ සහ රටින් පිටවීමේ අවදානමකට මුහුණ දී ඇත.

සමාගමේ කළමනාකාරිත්වය විසින් පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලද අන්දමට, පසුගිය මාස 6ක කාලය තුළ නිෂ්පාදන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මාසිකව ඩොලර් ලක්ෂ 3ක පමණ පාඩුවක් සමාගමට දරන්නට සිදුව ඇත. මෙම තත්ත්වය හේතුවෙන් චීන ආයෝජකයා ආපසු සිය රටට යාමට සූදානම් වන බවත්, කර්මාන්තශාලාව වසා දැමුවහොත් ඉහළ වැටුප් ලබන සේවකයින් 500කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බවත් එහිදී අවධාරණය කෙරිණි.

ආයෝජනයේ ඉතිහාසය

මෙම සමාගම 2023 අගෝස්තු 12 වැනිදා ඩොලර් මිලියන 8ක ආයෝජනයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔවුන්ගේ ඉලක්කය වූයේ වසරකට ෆෝම් මෙට්‍රස් ලක්ෂ 25ක් විවිධ රටවලට අපනයනය කිරීමයි. මේ සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ (BOI) අනුමැතිය 2024 මාර්තු මාසයේදී හිමිව ඇත. නමුත්, පසුව ආයෝජන මණ්ඩලය සහ වාණිජ දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාව වෙත සිදුකරන අපනයනය මෙට්‍රස් 50,000කට සීමා කිරීම වැනි බාධක පැනවීමක් සිදුකර ඇත.

ආයෝජකයාගේ විරෝධය

ආයෝජක පාර්ශවය පවසන්නේ, මෙවැනි සීමාවන් හරහා සුළු නිෂ්පාදන ප්‍රමාණයකින් යුත් කර්මාන්තශාලාවක් ලාභදායී ලෙස පවත්වාගෙන යාම අතිශයින් අපහසු බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය මාස 6ක කාලය තුළ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතත්, ආයෝජන මණ්ඩලය හෝ වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිශ්චිත තීන්දුවක් ලබාදීම ප්‍රමාද කර ඇති බව සමාගමේ කළමනාකාරිත්වය පවසයි.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය දැනුවත් කර, එහි මැදිහත්වීම ඔස්සේ නිර්දේශ ලබාගත්තද, එම නිර්දේශ හරහා පවා මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව සමාගම පවසයි.

ආර්ථික හා සමාජ බලපෑම

නිෂ්පාදන වරායේ ගොඩගැසී ඇති අතර, කර්මාන්තශාලාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම හේතුවෙන් මාසිකව ඩොලර් ලක්ෂ 3ක පමණ පාඩුවක් සමාගමට විඳදරාගත වෙයි. මේ හේතුවෙන්, නීත්‍යානුකූලව රටින් පිටවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ආයෝජකයා බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත්, එම ඉල්ලීමද ප්‍රමාද කිරීමට හෝ නොසලකා හැරීමට බලධාරීන් කටයුතු කරන බව සමාගමේ කළමනාකාරිත්වය පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන්, රට තුළ ඉහළ වැටුප් ලබන රැකියා 500කට ආසන්න ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් මතුව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජ යහපැවැත්මට බලවත් බලපෑමක් එල්ල කළ හැකිය. මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව සමාගම අවධාරණය කරයි.


ReeCha