බංග්ලාදේශයේ බල සටන උණුසුම් වෙයි

Report

ශෙයික් හසීනාගේ රජය බිඳවැටීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහමැතිවරණයේදී බලය සඳහා ප්‍රධාන තරඟය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ජමාටි ඉස්ලාමි පක්ෂය අතර ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අවාමි ලීග් පාලන සමයේ පනවා තිබූ තහනම අන්තර්වාර රජය විසින් ඉවත් කිරීමෙන් පසු ජමාටි ඉස්ලාමි පක්ෂය නැවත මැතිවරණ වේදිකාවට පිවිස ඇත.

මේ අතර, අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය කලිඩා සියාගේ ජාතිකවාදී පක්ෂය ඇගේ පුත් තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් තරඟයට ඉදිරිපත්වී තිබේ.

එම හේතුවෙන් පක්ෂ දෙක අතර බලය අත්කර ගැනීමේ තරඟය තවත් උණුසුම් වී ඇති බව සඳහන් වේ. ජාතිකවාදී පක්ෂය බලයට පත්වුවහොත් රටේ ආර්ථිකය හා වෙළෙඳ ප්‍රතිපත්ති විශාල ලෙස ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රකාශ කර ඇත.

අනෙක් අතට, ජමාටි ඉස්ලාමි පක්ෂය බලයට පත්වුවහොත් ඉස්ලාමීය පාලන ව්‍යුහයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳ සංවාදයක් මතුවී තිබේ.එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇතැම් අපේක්ෂකයන් විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් විශේෂයෙන් කාන්තාවන් අතර අප්‍රසාදයක් පළවී ඇත.

ඒ අතරම, එම අදහස්වලට විරුද්ධ මත පළ කරන පක්ෂ සාමාජිකයින් ද සිටින බැවින් ජමාටි ඉස්ලාමි පක්ෂ අභ්‍යන්තරයේද මතභේදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.