MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේ අලුත් වාර්තාවක් - ලොව පළමු K-pop කලාකාරිනිය ලෙස BLACKPINK හි ලීසා ඉතිහාසයට

By Kanchana Sep 28, 2026 09:15 AM GMT
Report

පසුගිය දා  පැවති 2026 MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේදී (VMA) සම්මානයක් දිනාගත් පළමු K-pop කලාකාරිනිය බවට BLACKPINK කණ්ඩායමේ ලීසා පත්ව තිබෙනවා.

ඒ අනුව ඇයගේ ඒකල ඇල්බමය වන ‘Alter Ego’ හි ඇතුළත් ‘Dream’ ගීතය වෙනුවෙන් හොඳම පොප් (Best Pop) සම්මානය දිනාගැනීමට ලීසා සමත් වුණා.

ලොස් ඇන්ජලීස්හි පීකොක් රඟහලේ පැවති සම්මාන උළෙලේදී ඉදිරිපත් කරන්නිය වන ටෙයානා ටේලර් විසින් ලීසාගේ නම ප්‍රකාශ කිරීමත් සමඟ ඇය දැඩි ලෙස හැඟීම්බර වූ ආකාරයක් දක්නට ලැබුණා.

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව තායි භාෂාවෙන් ප්‍රේක්ෂකයින් අමතමින් ලීසා MTV ආයතනයට මෙන්ම ‘Dream’ ගීතය සඳහා දායක වූ සියලු දෙනාට ස්තූතිය පළ කළා.

එමෙන්ම තම රසිකයින් වෙතද ස්තූතිය පළ කළ ඇය, ඔවුන්ගේ ආදරය සහ සහයෝගය නොමැතිව තමන්ට මෙම ස්ථානයට පැමිණීමට නොහැකි වනු ඇති බව සඳහන් කළා.

මෙවර MTV VMA සම්මාන උළෙලේදී K-pop කලාකරුවන් අතරින් වැඩිම නාමයෝජනා සංඛ්‍යාවක් හිමිව තිබුණේද ලීසාටයි. ‘Dream’ ගීතය වෙනුවෙන් හොඳම සිනමාකරණය, හොඳම සංස්කරණය සහ හොඳම K-pop යන කාණ්ඩ තුන සඳහාද ඇය නාමයෝජනා ලබා තිබුණා.

මේ අතර, ලීසා සිය ඉදිරි EP ඇල්බමය වන ‘Press Play’ සඳහා පූර්ව නිකුත් කළ ගීතය වන ‘Sawdika’ ගීතයද සම්මාන උළෙලේදී ප්‍රථම වරට සජීවීව ඉදිරිපත් කළා. ඔක්තෝබර් 23 වැනිදා නිකුත් කිරීමට නියමිත එම EP ඇල්බමයේ ගීතයක් වන ‘Sawdika’ සඳහා කළ ඇයගේ මෙම සජීවී ඉදිරිපත් කිරීම, මැඩෝනා, ෂබූසි, ගුන්නා සහ රේ ඇතුළු කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් සමඟින් සම්මාන උළෙලට එක්වුණා.