බත්තරමුල්ලේ දී වාහනවලට පහර දෙමින් හානි කළ තරුණයා රිමාන්ඩ්
බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු, ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (13) නියෝග කර තිබේ.
අදාළ සැකකරු වැලිකඩ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි. ඔහු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි, සහ තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහුගේ ශරීරයේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබීමද වාර්තාවේ සඳහන් වී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔහුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින්, සිද්ධිය සම්බන්ධ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
මෙම සැකකරු, මින් පෙරදැනටමත් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අධිකරණය මගින් කන්දකාඩු පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කර තිබුනු බවද වාර්තා වේ.