බණ්ඩාරවෙලට නව ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් - ඌවෙන් ජාත්‍යන්තර ශූරයන් බිහි කිරීමේ දැවැන්ත ඉලක්කයක්
ඌව පළාතේ දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තර මට්ටම දක්වා ඉහළ නැංවීමේ අරමුණින්, බණ්ඩාරවෙල කිණ්ගම ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් නවීන පහසුකම්වලින් යුත් පිහිනුම් තටාකයක් ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 150ක පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ හරහා ප්‍රදේශයේ පාසල් දරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පුහුණු පහසුකම් ලබාදීම අපේක්ෂා කෙරේ.
එමඟින් ඌව පළාතෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ පිහිනුම් ශූරයන් බිහිකිරීමටත්, ප්‍රදේශයේ ක්‍රීඩා යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකිවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ව්‍යාපෘතියේ මූලික කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක මහතා, බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති සාගර විශ්වවික්‍රම මහතා, ප්‍රාදේශීය සභා සභාපති වසන්ත සංජීව මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නිලධාරීහු පිරිසක් පසුගියදා ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූහ.
මෙම නව පිහිනුම් තටාක සංකීර්ණයේ නිල මුල්ගල් තැබීමේ උත්සවය එළඹෙන ජූලි 7 වැනිදා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කිණ්ගම ක්‍රීඩා සංකීර්ණ භූමියේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.