ඩෙංගු වලට එරෙහිව අයුර්වේදය පෙරට එයි - බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ විශේෂ සායනයක් ඇරඹේ
ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන් සඳහා විශේෂිත සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 වැනි සිකුරාදා සිට ආරම්භ කිරීමට නියමිත බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා පවසයි.
රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට කැමති ඩෙංගු රෝගීන්ට බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල වෙත පැමිණ සේවාව ලබාගත හැකි බවයි.
මේ අතර, රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කර ඇත්තේ, ඩෙංගු රෝගය සඳහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නිර්දේශ කරන ඖෂධ හැර වෙනත් අත් බෙහෙත් භාවිත නොකළ යුතු බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විවිධ ඖෂධ උපදෙස් අනුව ප්‍රතිකාර කිරීමෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.
විශේෂයෙන් පැපොල් කොළ යුෂ වැනි අත් බෙහෙත් භාවිත කිරීම හේතුවෙන් ඇතැම් ඩෙංගු රෝගීන්ගේ තත්ත්වය බරපතළ වී ඇති බවත්, විවිධ සංකූලතාවලට මුහුණ දී ඇති බවත් වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා සඳහන් කර ඇත.