අමෙරිකානු වැසියන්ට වහාම ඉවත් වන ලෙස දන්වයි
බහරේනයේ අගනුවර මැනාමාහි පිහිටි හෝටල්වලට ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවල දැඩි අවදානමක් පවතින බැවින්, එහි රැඳී සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම හෝටල්වලින් ඉවත් වන ලෙස බහරේනයේ අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
තානාපති කාර්යාලය විසින් X හරහා නිකුත් කළ පණිවිඩයක සඳහන් වන්නේ, මැනාමාහි ක්‍රවුන් ප්ලාසා හෝටලයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එම හෝටලයේ රැඳී සිටි අමෙරිකානු රජයේ නිලධාරීන් දැනටමත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවත් තහවුරු කර තිබේ.
කලාපයේ තත්ත්වය ඉතාමත් අනාරක්ෂිත බවත්, ඉරානයෙන් එල්ල විය හැකි තවත් ප්‍රහාර හේතුවෙන් මැනාමාහි ප්‍රධාන හෝටල්වලට ඉලක්ක වීමේ අවදානම ඉහළ බවත් තානාපති කාර්යාලය අවධාරණය කර තිබේ.
එබැවින් අමෙරිකානු පුරවැසියන්ට තමන්ගේ ආරක්ෂාව සඳහා වහාම ඉවත් වීමට හෝ ආරක්ෂිත ස්ථානවලට යොමු වීමට උපදෙස් දී තිබේ.
මෙම අනතුරු ඇඟවීම මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායල්-ඉරාන ගැටුම් තීව්‍ර වීමත් සමඟ සම්බන්ධ වන අතර, බහරේනයේ අමෙරිකානු හමුදා මූලස්ථානයන් හා සම්බන්ධ හෝටල් ඉලක්ක වීමේ සම්භාවිතාව ඉහළ යාම හේතුවෙන් එය නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.