කූඨ ග්‍රීක නේවාසික බලපත්‍ර ළඟ තබා ගත් තිදෙනෙක්ට වැඩ වරදී

By Dilasha Apr 01, 2025 01:45 AM GMT
Report

 ව්‍යාජ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ අවුරුදු 22, 24, සහ 25 වැනි වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර මොවුන් ඊයේ (30) පස්වරුවේ බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වේ.

 ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන ඇති අතර එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී මෙම ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර ඉහළ තාක්ෂණික උපක්‍රම, සූක්ෂම ලෙස භාවිතා කර කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී ඇති අතර මොවුන් බහරේන් වෙත ගොස් එතැන් සිට ග්‍රීසියේ ඇතැන්ස් නුවර බලා පිටත්ව යාමට සැළසුම් කර ගෙන තිබූ බව ද එම නිලධාරීන් සිදු කළ වාචික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.