අර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පාපන්දු ඉතිහාසයේ සම්පූර්ණ කතාව මෙන්න
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව තීරණය කෙරෙන අවසන් මහා තරගය අද අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වත්මන් ශූර අර්ජන්ටිනාව සහ යුරෝපීය ශූර ස්පාඤ්ඤය අතර පැවැත්වෙන මෙම තරගය මෙවර තරගාවලියේ වඩාත්ම උද්වේගකර තරගයක් ලෙස සැලකේ. තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ කණ්ඩායම වන අර්ජන්ටිනාව ගෝල 19ක් රැස්කර ඇති අතර, ස්පාඤ්ඤය මෙතෙක් ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ එක් ගෝලයක් පමණි.
ඒ අනුව ප්‍රබල ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය සහ ශක්තිමත් ආරක්ෂක රටාව අතර සටනක් ලෙස මෙම අවසන් තරගය හැඳින්විය හැකිය. එමෙන්ම වසර 60කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයකදී දකුණු අමෙරිකානු සහ යුරෝපීය ශූරයන් එකිනෙකා හමුවන පළමු අවස්ථාවද මෙය වේ.
මෙවර අවසන් තරගයේ තවත් විශේෂත්වයක් වන්නේ ස්පාඤ්ඤයේ 19 හැවිරිදි ලැමීන් යමාල් සහ අර්ජන්ටිනාවේ 39 හැවිරිදි ලයනල් මෙසී අතර පරම්පරා දෙකක් නියෝජනය කරන සුවිශේෂී මුහුණදීමයි.
ඉතිහාසයේ දෙරට අතර ජාත්‍යන්තර තරග 16ක් පැවැත්වී ඇති අතර ඉන් දෙරටම තරග 6 බැගින් ජයගෙන ඇත. තවත් තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. ලෝක කුසලාන ඉතිහාසයේ දෙරට මීට පෙර හමුවී ඇත්තේ එක් වරක් පමණක් වන අතර, 1966 ලෝක කුසලානයේ කාණ්ඩ තරගයකදී අර්ජන්ටිනාව ගෝල 2-1කින් ස්පාඤ්ඤය පරාජය කළේය.
ලෝක කුසලාන ඉතිහාසයේ ස්පාඤ්ඤය එක් වරක් (2010) ශූරතාව දිනාගෙන ඇති අතර, අර්ජන්ටිනාව 1978, 1986 සහ 2022 වසරවලදී ලෝක ශූරයන් බවට පත්ව තිබේ.
මෙවර තරගාවලියේ අර්ජන්ටිනාව වෙනුවෙන් ලයනල් මෙසී ගෝල 8ක් සහ ගෝල අවස්ථා 4ක් නිර්මාණය කරමින් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර, ලෞටාරෝ මාර්ටිනෙස් සහ එන්සෝ ෆර්නැන්ඩස් ද ප්‍රහාරාත්මක අංශයේ වැදගත් දායකත්වයක් ලබාදී තිබේ.
ස්පාඤ්ඤය වෙනුවෙන් මිකෙල් ඔයාර්සබාල් ගෝල 5ක් රැස්කරමින් වැඩිම ගෝල ලාභියා වන අතර, මැදපෙළ ක්‍රීඩක රොද්රි තරගාවලියේ වැඩිම සාර්ථක පාස් සංඛ්‍යාව වාර්තා කර ඇත.
තරුණ ක්‍රීඩක ලැමීන් යමාල් ද ස්පාඤ්ඤයේ ප්‍රධාන අවියක් ලෙස සැලකේ. නියමිත මිනිත්තු 90 අවසානයේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් මිනිත්තු 15 බැගින් වූ අතිරේක කාල දෙකක් ක්‍රීඩා කෙරෙන අතර, එම කාලය අවසානයේත් ජයග්‍රාහකයෙකු තීරණය නොවුවහොත් දඬුවම් පහර මඟින් ලෝක ශූරයන් තීරණය කෙරෙනු ඇත.