ඓතිහාසික රහස් සොයා යන ලංකාවේ ලොකුම පුරාවිද්‍යා මෙහෙයුම මෙන්න - ස්ථාන 1000කට අලුත් ජීවයක්
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය අද (07) සිට ආරම්භ වේ.
මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත් වන්නේ මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමයි.
සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිතව තිබේ
අද (07) ඇරඹෙන පුරාවිද්‍යා දෙසතිය තුළ එහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව බව වාර්තා වේ
පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම සඳහා මහජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් “ප්‍රජා සංරක්ෂණ කමිටු” පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන ඇත.
මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
"මෙවර පුරාවිද්‍යා දෙසතියේ මූලික තේමාව හැටියට අපි නම් කොට තිබෙන්නේ 'උරුමයට ජීවයක්' කියන තේමාව. ඒ තුළින් අපි අදහස් කරන්නේ අපේ රටේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන, ඒ ස්ථාන සමහර තැන් තිබෙනවා සංරක්ෂණය කළ යුතු, සමහර ස්ථාන තිබෙනවා කැණීම් කළ යුතු, අන්න එවැනි ස්ථාන වෙනුවෙන් මේ කටයුත්ත අපි යොදාගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරි කාලය තුළ 'උරුමයට ජීවයක්' පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීම කියන මූලික වැඩසටහන යටතේ තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. අදින් පටන් ගන්න පුරාවිද්‍යා දෙසතිය තුළ ආරම්භක කාර්යයක් හැටියට අපි එවැනි ස්ථාන සීයයක් හඳුනාගෙන, වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා." "ජනතාව මේ ස්ථාන වෙනුවෙන් කරන කැපවීම, මැදිහත්වීම යම් මට්ටමකට අඩුයි. ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි කල්පනා කළා මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගත්තහම ඒ ස්ථානයේ නිශ්චිත පුරාවිද්‍යා ස්ථානයක් හැටියට නම් කරලා, ඒ ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ සහභාගිත්වය සහිතව ප්‍රජා සංරක්ෂණ කමිටුවක් ගොඩනගන්න. ඒ ප්‍රජා සංරක්ෂණ කමිටුව හරහා තමයි ඇත්තටම එතනින් අනතුරුව ඒ ස්ථානයේ කෙරෙන කැණීම් කටයුත්තක් කෙරෙනවද, ගවේෂණ කටයුත්තක් කෙරෙනවද, සංරක්ෂණ කටයුත්තක් කෙරෙනවද කියන එක පිළිබඳව යෝජනා අදහස් ලබාගන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊට අදාළ තාක්ෂණික දැනුමක් තියෙන නිලධාරීන්ගේ සහභාගිත්වය සහිතව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාව මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානත් එක්ක සම්බන්ධ වුණහම අපි අර බලාපොරොත්තු වෙන ආරක්ෂා කර ගැනීම ක්‍රියාකාරීව කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ පරමාර්ථය මූලික කරගෙන පුරාවිද්‍යා දෙසතිය තුළ මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සංවිධානය කර තිබෙනවා."