අම්පිටියේ සුමනරතන නාහිමියන් අත්අඩංගුවට ගන්න සියල්ල සූදානමක
මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති, පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට උපදෙස් ලබාදී ඇත.
මෙම උපදෙස ලැබී ඇත්තේ 2023 ඔක්තෝබර් 26 වැනිදා උන්වහන්සේ සිදුකළ “දකුණේ සිංහලයන් උතුරේ දෙමළ ජනතාව කපා කොටා මරා දැමිය යුතුය” යැයි පවසූ බවට චෝදනා ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙනි. එම ප්‍රකාශය රූපවාහිනී පුවත් වැඩසටහනකින් විකාශය වූ බව පැමිණිලිකරු පවසයි.
ඊට දිනකට පසුව (2023 ඔක්තෝබර් 27) නීතිඥ ධනුක විජේතුංග මහතා විසින් මඩකලපුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ විමර්ශන ආරම්භ විය.
විමර්ශන දෙවසරකට ආසන්න කාලයක් මන්දගාමීව සිදුවූ අතර, එම කාලය තුළදී පැමිණිලිකරු විසින් නැගෙනහිර පළාත භාර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසූ විට “නීතිපති උපදෙස් ලබාගනිමින් සිටිනවා” යැයි ප්‍රතිචාර ලැබුණි.
විමර්ශන කටයුතු තුළදී: එම ප්‍රකාශය විකාශය කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන, අදාළ රූපවාහිනී පටය CD තැටියකින් පොලිස් භාරයට ගෙන, එය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් ලබාගෙන තිබේ.
එම රස පරීක්ෂක වාර්තාව මත නීතිපතිවරයා විසින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇත.
පැමිණිලිකරු විසින් මඩකලපුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාගෙන් මෙම අත්අඩංගුව සම්බන්ධයෙන් විමසූ විට, “හිමියන් පැමිණ භාර වන තුරු බලා සිටිනවා” යැයි ප්‍රතිචාර ලැබී ඇත.
මෙම ප්‍රකාශයට අදාළ නඩුව ලබන දෙසැම්බර් 08 වැනිදා මඩකලපුව මහාධිකරණයේදී කැඳවීමට නියමිතය.