කිරිබත්ගොඩ සතිපොළේ අතහැර දැමූ කුටියකින් LMG සහ රිවෝල්වර ජීව උණ්ඩ තොගයක්
කිරිබත්ගොඩ සතිපොළ භූමියේ පිහිටි අතහැර දමා තිබූ වෙළෙඳ කුටියක සඟවා තිබූ එල්. එම්. ජී. ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 30ක් සහ රිවෝල්වර ජීව උණ්ඩ 5ක් සොයාගැනීමට කිරිබත්ගොඩ පොලිසිය සමත්ව තිබේ.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව වහා ක්රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සතිපොළ පරිශ්රයේ සිදුකළ හදිසි සෙවුම් මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සියලුම ජීව උණ්ඩ අද (06) දින මහර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
මෙම ජීව උණ්ඩ තොගය කිසියම් සංවිධානාත්මක අපරාධයක් සිදුකිරීම සඳහා යොදාගැනීමට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමේ අරමුණින් අදාළ ස්ථානයේ සඟවා තැබුවේද යන්න සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.