ඉරානයට “ගහන්න” කියන අවස්ථාවක - ඇමරිකානු ප්‍රහාරක ප්‍රධානී ලංකාවට
ඇමෙරිකානු පැසිෆික් නාවික විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කෝලර් මහතා දෙදින නිල සංචාරයක් අවසන් කරමින් ඊයේ (21) කොළඹින් පිටත්ව ගියේය.
එක්සත් ජනපදයේ විශාලතම නාවික විධානයට නායකත්වය දෙන අද්මිරාල්වරයාගේ මෙම දෙවන ශ්‍රී ලංකා සංචාරය (පෙබරවාරි 19 සිට 21 දක්වා) සිදුවූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යුදමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පිළිබඳ අනතුරු ඇඟවීම් මැදියේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ඇතුළු ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූ අද්මිරාල්වරයා සමඟ කලාපීය ආරක්ෂක අභියෝග, සමුද්‍ර ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළ පරිදි, මෙම සංචාරය මගින් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඇමෙරිකානු කැපවීම තහවුරු වන අතර, ගෝලීය සමුද්‍ර මාර්ගවල මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම යළිත් අවධාරණය වේ.
මේ අතර ඉරානයට එරෙහිව යුදමය ප්‍රහාරයක් සඳහා ශ්‍රී ලංකාවට දකුණින් සැතපුම් 1,000ක් පමණ දුරින් පිහිටි දියාගෝ ගාර්ෂියා (Diego Garcia) යුද කඳවුර භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ වාර්තා මතුව ඇත. එම කඳවුරේ පාලනය බ්‍රිතාන්‍යය විසින් මොරිෂස් රාජ්‍යයට පැවරීමට ගත් තීරණයට ජනාධිපති ට්‍රම්ප් දැඩි විරෝධය පළ කර ඇති අතර, ඕනෑම මොහොතක ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා එය අවශ්‍ය විය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ඊට සමගාමීව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති AI Impact Summit 2026 සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා හමුවී කලාපීය ස්ථාවරත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගත්හ.
කලාපීය ආතතිය සමනය කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) මහතා සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය (Yvette Cooper) වොෂින්ටනයේදී සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී දියාගෝ ගාර්ෂියා කඳවුරේ භාවිතය ඇතුළු ආරක්ෂක කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.