අද ලංකාවම හොයපු අමරකීර්ති ඝාතන නඩුවේ සියලු විස්තර - 12 දෙනෙක් පෝරකයට යැව්ව සාක්ෂි මෙන්න

Report

අරගලය පැවැති විටදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී චුදිතයින් 12 දෙනකුට අද දින මරණීය දණ්ඩනය ද, සිව් දෙනකුට අත්හිටවූ සිරදඬුවම් ද, තවත් චුදිතයින් 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග නිකුත් විය.

ඒ, ගම්පහ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව අද (11) දින ප්‍රකාශයට පත් කළ විටයි.

එහිදී අයුතු ජනරාශිය, මනුෂ්‍ය ඝාතනය, පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා 14කට අදාළව නිතිපතිවරයා විසින් මෙම නඩුවේ චුදිතයින් 41 දෙනාට විරුද්ධව අධිචෝදනා ගොනු කර තිබුණා.

මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ ඉදිරිපත් කර තිබු සියළු චෝදනාවලින් සියළුම චුදිතයින් නිදොස් කොට නිදහස් කරන බවයි.

එබැවින් මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක් බවට ප්‍රකාශයට පත් විය.

එසේම ‍මෙම නඩුවේ දී අත්හිටවූ සිරදඬුවම් නියම වූ චුදිතයින් සිව් දෙනාට අධිකරණයෙන් දඩ හා වන්දි මුදල් ද නියම විය.

එබැවින් එක් අයකුට රුපියල් 10,000 ක දඩයක් හා අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග විය.

අඳාළ දඩ මුදල සහ වන්දි මුදල අද (11) දිනයේදීම ගෙවා නිම කළ යුතුව ඇති බවටත් අධිකරණයෙන් චුදිතයින් සිව් දෙනාට නියෝග කර තිබුණා.

මෙසේ වන්දි ගෙවීමට නියම කෙරුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ බිරිඳට සහ හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යන අයගේ බිරිඳ වෙතටයි.

ඒ අනුව ගම්පහ මහාධිකරණය හමුවේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී අඳාළ දීර්ඝ නඩු විභාගය විභාග විය.

එහි නියෝගය අද (11) දින නිකුත් විය.

අඳාළ නඩුවේදී වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම වූයේ, ධනුෂ්ක ලක්ෂාන්ත, මොහොමඩ් ඩිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, තරිඳු සුනිල්රත්න, ඉන්දික තුෂාර විජේසිංහ, රාසයියා සත්‍ය කුමාර්, චාරුක දේශාන්, සනත් වීර ප්‍රසන්න, මධු භාෂිත ජයවීර, රංගන රුවන් නන්දසේන, දිලූක ප්‍රභාත් ජයතිලක, ඉරේශ අෂාන් පීරිස් යන අයටයි.

එසේම මෙහිදී ඉරේශ අෂාන් පීරිස් නමැති චුදිත නොමැතිව නඩු විභාගය පැවැත් විය. අඳාළ නඩුවේ චූදිතයින් සිව් දෙනකුට අත්හිටවූ සිරදඩුවම් නියම වූ අතර එක් අයකුට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වසර පහකට අත්හිටවූ අධිකරණය, රුපියල් 10,000ක දඩයක් නියම කර ඇත.

එමෙන්ම අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000ක වන්දි මුදලක් ද නියම විය. අඳාළ දඩ මුදල නොගෙවන්නේ නම්, තවත් අමතර මාස තුනක සිර දඬුවමක් ද අධිකරණයෙන් චුදිතයින්ට නියම කර තිබුණා.

ඒ අනුව අධිකරණයෙන් නියම කළ අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12ක අමතර සිර දඬුවමක්ද නියම කළ විනිසුරුවරුන් එකී වන්දි මුදල් හා දඩ මුදල් අද (11) දිනයේදීම ගෙවන ලෙසට අත්හිටවූ සිරදඬුවම් නියමවූ සිව්දෙනාට නියෝග කර සිටියා.

මෙසේ අත්හිටවු සිරදඬුවම් නියම කරෙුණේ ඉශාන් සරවනාස් දිල්ෂාන්, අනුරංග සූරසිංහ, උජිත් සාගර ප්‍රසන්න හා සුවිනීත් ප්‍රියංකර කුමාරසිංහ යන අයටයි.

මේ අතර මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනූ ලැබූ විට නිතිපතිවරයා සඳහා අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තාක්ෂණික හා වෝහාරික පරීක්ෂණ උපයෝගී කරගෙන සිදු කළ නඩු විභාගය මෙය බවයි.

පසුගිය 2022 ජුනි මස 9 වන දින නිට්ටඹුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදිතයින් 12 දෙනාට මරණීය දණ්ඩනය නියම කිරීමට ප්‍රථම විනිසුරු මඩුල්ල එක් එක් චූදිතයින්ගෙන් නිදහසට කරුණු විමසීමක් කර තිබුණා.

එහිදී එක් එක් චූදිතයින් විත්තිකූඩුවේ සිටිමින් කියා සිටියේ, තමන් මේ සියළු චෝදනාවලට නිවැරදිකරුවන් බවත්, කිසිදු ඝාතනයකට හෝ වෙනත් ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ය.

තමන් සියළු දෙනා පැමිණියේ මෙම සිද්ධිය නැරඹීමටම පමණක් බව ත් ඔවුන් විවෘත අධිකරණයේදී පැවසුවා. එසේම තම දරුපවුල් නඩත්තු වන්නේ තමන් නිසා බැවින් තමන්ට නියම කරන මරණීය දණ්ඩනය ලිහිල් කර දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ මරණීය දණ්ඩනය නියම කළ චුදිතයින් 12 දෙනා ජනාධිපතිවරයා එල්ලා මැරීමට නියෝග කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළ රඳවා තැබීමටයි.

අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගී වී නැවත පොළොන්නරුව බලා යමින් සිටියදී, නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ පහරදීමකට ලක්ව මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ගේ නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණේ පසුගිය 2023 වසරේ සිටයි.

ඒ අනුව අඳාළ නඩුව මනුෂ්‍ය ඝාතනය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ වාහනයකට ගිනි තබා දේපළ කොල්ලකෑම යන අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනෙකුට විරුද්ධව පවරා තිබුණා.

එසේම නඩු විභාගය අතරතුර 13 සහ 31 වන විත්තිකරුවන් මියගොස් ඇති අතර, 39 සහ 40 වන විත්තිකරුවන් අධිකරණය මඟහැර සිටියදී නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන ලදි.

මෙම නඩු විභාගය අතරතුර එක් දිනකදී අධිකරණය මඟහැරීම නිසා 03 වන විත්තිකරු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරු මඩුල්ල පියවර ගෙන ඇත.

නඩු විභාගයේදී විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන විමර්ශන මෙහෙයවා තිබූ අතර, එහිදී පුද්ගල සාක්ෂිවලට අමතරව සීසීටීවී දර්ශන, ඩී.එන්.ඒ පරීක්ෂණ, සොකෝ නිලධාරීන්ගේ වාර්තා, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය, සහ වීඩියෝ දර්ශන ඇතුළු තාක්ෂණය මූලික කරගනිමින් එක් එක් සැකකරු සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශනය කර තිබු බවට අධිකරණයේදී කරුණු තහවුරු විය.නඩුවට අදාළව පොලිස් සහ යුද හමුදා නිලධාරීන්, ප්‍රභූවරුන්, ග්‍රාම නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් පුද්ගලයන් 200කට ආසන්න සාක්ෂි ප්‍රමාණයක් සටහන් කරගෙන තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දෙන ලදි.

මෙම සිද්ධියේ චෝදනා ලැබූ 41 දෙනා අතර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු, ව්‍යාපාරිකයින්, ත්‍රිරෝද රථ රියැදුරන්, වෙළෙඳ ආයතන සේවකයන් ඇතුළු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විය.

එමෙන්ම නීතිපතිවරයා සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා, සචින්තන ප්‍රනාන්දු සහ යසාරා කෝදාගොඩ යන නිතීඥවරු පෙනී සිටි අතර විත්ති පාර්ශ්වය සඳහා ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි, චමින්ද අතුකෝරළ, ලාල් කුමාරපේලි, ශිරාණි දිසානායක සහ සුරංග ගුණතිලක, ප්‍රදිප් පෙරේරා, තිවංක තින්තක, නාමල් බමුණුආරච්චි යන නීතිඥවරුන් ඇතුළු කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කර සිටියා.

අමරකීර්ති ඝාතන නඩුවේ අවසාන විනිශ්චය - 12කට මරණ දඬුවම

අමරකීර්ති ඝාතන නඩුවේ අවසාන විනිශ්චය - 12කට මරණ දඬුවම