ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත්ම ආරක්ෂක නීතියක්..!
ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ 42වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් කෙටුම්පත් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බව සඳහන් කළේය.
ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ඉදිරිපත් කළේය. මේ අතර මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපද නියෝජිතයින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සිදුකළ යුතු බවය.
එමෙන්ම සමලිංග ක්‍රියා අපරාධ නීතිය යටතට ගැනීමෙන් ඉවත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. කොළඹ සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් සැසිවාරය අමතමින් මෙසේ පැවසීය
"වඩාත් පුළුල් දේශපාලන හා සමාජ ආර්ථික ක්‍රියාමාර්ගයන්හිදී අප පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය ක්‍රියාවලිය දැඩිව පිළිපදින ලද අතර, ක්‍රියාකාරි දේශපාලනමය සංක්‍රාන්තිය තුළ පාර්ලිමේන්තුව ඇතුළු රජයේ අයාතන ස්ථාවරව පැවති බව කිව යුතුයි. විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව අනෙකුත් කැපවීම පිළිබඳ ප්‍රතිඥාවකට සහ ජනතාව අතර සංහිදියාව ප්‍රවර්ධනය උදෙසා නිශ්චිත පියවර ගෙන තිබෙනවා.
මෙම වාතාවරණය යටතේ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ සාමාජ යුක්ති කොමිසමක් ස්ථාපනය කිරීම වැනි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු පුළුල් ප්‍රතිපත්ති පියවර රැසක් හඳුනාගෙන තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් සකස් කිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
