පහසුවෙන් ගමන් බිමන් යන්න අද සිට යළි ඇරඹෙන මාකුඹුර – ගුවන්තොටුපළ සුඛෝපභෝගී බස් රථ සේවාව

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට යළි ආරම්භ කර ඇත .

මෙම සේවාව ක්‍රියාත්මක කරන්නේ ගුවන්තොටුපොළ භාවිත කරන දේශීය සහ විදේශීය මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම, සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණිනි.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ක්‍රියාත්මක කරනු ලබයි .

මෙම සේවාව මගින් ගුවන්තොටුපොළට පැමිණෙන සහ ගුවන්තොටුපළින් පිටවන මගීන්ට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත සහ එහි සිට ගුවන්තොටුපළ දක්වා සුවපහසු හා කඩිනම් ගමන් පහසුකම් සැලසෙනු ඇත.

මෙහි ගමන්ගාස්තුව රුපියල් 410ක් වන අතර ගමන් කාලය මිනිත්තු 50ක් පමණ වන බවද වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කර තිබේ

ඒ අනුව උදෑසන 5.15 සිට සවස 6.30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතව  ඇත.