මේ රටවල් සඳහා ගුවන් ගමන් තහනමක් - එයාර්ලයින්ස් සැර වෙයි
තමන් සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා නොමැති රටවල ගුවන් සේවකයින් සඳහා වන රෙගුලාසි ඊශ්රායලය විසින් දැඩි ලෙස බලගැන්වීමත් සමඟ, පාකිස්ථානු ගුවන් නියමුවන්ට සහ කාර්ය මණ්ඩලයට ඊශ්රායලය දක්වා සහ එරට සිට ක්රියාත්මක වන ගුවන් ගමන් මෙහෙයවීම තහනම් කිරීමට Air France සමාගම පියවර ගෙන ඇත.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ පසුගිය සැප්තැම්බර් 30 වන දින flydubai ගුවන් යානයක් තුළදී ඕමාන් ජාතික සහකාර ගුවන් නියමුවෙකු විසින් සිදු කිරීමට තැත් කළ ත්රස්ත ප්රහාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බවයි.
ඕමානය ද ඊශ්රායලය සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා නොමැති රටක් වන අතර, මෙම නව සීමාවන් ලැයිස්තුගත රටවල පුරවැසිභාවය හිමි (ද්විත්ව පෞරවැසිභාවය සහිත පුද්ගලයින් ඇතුළුව) සියලුම ගුවන් සේවකයින්ට බලපානු ඇත. පාකිස්ථානය ඇතුළු රටවල් 31 ක ගුවන් සේවකයින් සඳහා එයාර් ෆ්රාන්ස් සමාගම පැනවූ මෙම තහනමෙන් පසු, ඇමරිකාවේ චිකාගෝ නුවර පදනම් කරගත් United Airlines සමාගම ද ඊශ්රායල ගුවන් ගමන් සඳහා බලපාන මෙම ජාතිකත්වය මත පදනම් වූ නීති පිළිබඳව තම ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබේ.
මෙම සීමාවන් ජාත්යන්තර ගුවන් සේවා ක්ෂේත්රයට කෙසේ බලපානු ඇත්දැයි යන්නත්, ඊශ්රායල නීතිවලට අනුකූල වීම සඳහා තවත් ගුවන් සමාගම් මෙවැනි පියවර ගනු ඇත්දැයි යන්නත් පිළිබඳව මේ වන විට ප්රශ්න මතුව ඇත.
ප්රංශයේ 'Mediapart' ගවේෂණාත්මක පුවත් සේවය සහ 'ch-aviation' ගුවන් සේවා තොරතුරු ආයතනය වාර්තා කර ඇති පරිදි, මෙම ගුවන් සමාගම් දෙකම ඊශ්රායලය විසින් පනවන ලද සීමාවන් පිළිබඳව තම කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත. 'Mediapart' වාර්තාවට අනුව, තමන් සතුව පවතින ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තොරතුරු වහාම අනාවරණය කරන ලෙස එයාර් ෆ්රාන්ස් සමාගම සිය සේවකයින්ට උපදෙස් දී ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වන සේවකයින්ට එරෙහිව විනය පියවර ගන්නා බවට ද අනතුරු අඟවා තිබේ.