පාසල් සිසුවෙකුට බඳින තුවක්කුවක් පත්තු වී මරුට..තවත් දරුවෙකුට මාරක ළිඳ මාරයෙක් වෙයි..

Sri Lanka Police Badulla Monaragala Accident Death
By Aruna Jun 22, 2023 03:06 AM GMT
Aruna

Aruna

Report

අඹන්පොළ ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

119 දුරකථනය ඔස්සේ අඹන්පොළ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි පැවසෙන්නේ.

මියගිය දරුවා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල් වගාකර ඇති ඉඩමේ පිහිටි පැල වෙත ගොස් ඇත.

එහිදී ළමයා පැලේ නතර කර ඔහුගේ මව සහ පියා ඒ අසල පිහිටි ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේ පොල් වගා කරන ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේ දී තුවාල සහිතව සිටි පුතා දැක ඇත. ඒ ආසන්නයේ කොටන තුවක්කුවක් තිබී ඇති බව ද සිදුකළ විමර්ශනයේ දී හෙළි වී තිබේ.

මේ අතර, දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැනකෙළියක මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බරපතළ තුවාල ලබා අදාළ දරුවා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (21) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 11ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ බිළිඳෙක් බවයි පැවසෙන්නේ.

මෙලෙස පියගැට පෙළෙන් ඉහළට නගිමින් සිටි දී ඇද වැටී මියගොස් ඇත්තේ, මාරක ළිඳෙහි හිමිකරුගේ ලොරි රථයේ රියදුරුගේ දරුවා බවයි පැවසෙන්නේ.

දරුවාගේ පියා සංදර්ශනයට පෙර මාරක ළිඳේ ආරක්ෂක කටයුතු හා සැරසිලි සිදුකිරීම සඳහා පැමිණ සිටිය දී එම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.