ගුවන් තොටුපොළේ අතහැර දමා ගිය රුපියල් කෝටි ගණනක කුෂ් මත්ද්‍රව්‍ය සොයාගැනේ
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ගුවන් මගියෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ගමන් මලු දෙකක් තුළ සුළං නොවදින ලෙස සූක්ෂ්ම ලෙස පැකැට් 60ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය ඊයේ (14) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-405 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙන විත් ඇත.
ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළදී අත්අඩංගුවට පත්වීමේ භය නිසා අදාළ සැකකරු මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මලු අතහැර දමා පළා යන්නට ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැක පළ කරයි. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ අදාළ ගමන් මලු රැගෙන ආ ගුවන් මගියා කවුරුන්දැයි අනාවරණය කර ගැනීම සඳහා මේ වන විටත් පූර්ණ විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් භාරයට ගත් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.