දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන ඝාතනය කරයි..
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කර ඇති බවට පුවතක් වාර්තා වනවා. ඊයේ (12) දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ දුම්රිය නිවාස, රත්මලාන ලිපිනයේ පිහිටි නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබු පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බවට ගල්කිස්ස පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 41ක් වූ බියගහ, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිට ඇති බවයි පැවසෙන්නේ.
පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් දුම්රිය දෙපාර්තමේන්තු සේවකයාට පිහියෙන් ඇන ඇති බවයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදීමෙන් අවුරුදු 58ක් වන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරටුව පොලීසිය පවසනවා.
බහින් බස්වීමක් අතරතුරදී කඩුවකින් පහරදීමෙන් බරපතළ තුවාල සිදුව ඇති අතර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් තිබේ.
අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
