ජනාධිපතිවරණයට මේවා පාවිච්චි කරන්න බෑ..මැතිවරණ කොමසාරිස් දැනුම් දේ..

Piyumika
Report this article
ජනාධිපතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතය වැළැක්වීම සඳහා කටයුතු කිරීම පිළිබඳව දැනුම්දීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (06 වැනිදා) පෙරවරුවේදී කැඳවා තිබිණි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඇතුළු සාමාජිකයන් සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් පොලිතින් භාවිත නොකරමින් සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පෙන්වා දුන්නේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසද මෙහිදී කියා සිටියේ ඊට අදාළව අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවය. ප්‍රචාරක කටයුතුවලදී විශාල වශයෙන් පොලිතින් භාවිත කිරීම නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවත්, ඒවා ඉවත් කිරීමට විශාල වියදමක් රජයට දැරීමට සිදුවන බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය සම්පත් අනිසි ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගැනීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන ලෙසත්, එම සංවර්ධන කටයුතු විවෘත කිරීම් ආදියට දේශපාලනඥයන් සම්බන්ධ කරගැනීමෙන් වළකින ලෙසද මැතිවරණ කොමිෂන් සභාව මෙහිදී උපදෙස් දුන්නේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ වෛද්‍ය පත්වීම් සහ පවුල් සෞඛ්‍ය නිලධාරී පත්වීම් එකසිය ගණනක් ඉදිරි දිනවලදී ලබාදීමට නියමිතව තිබෙන බවය.
අදාළ පත්කිරීම් සම්බන්ධ ලේඛන කොමිෂන් සභාවට එවීමෙන් පසු ඊට අදාළ උපදෙස් ලබාදෙන බවද කොමිසමේ ප්‍රධානීහු මෙහිදී කියා සිටියහ.
