ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් ? - අලුත් වගකීමත් සමඟ අර්ජුන තම අභිප්‍රාය ගැන හෙළි කරපු දේ.

Arjuna Ranatunga Sri Lanka Cricket Sri Lanka
By Wayomi Nov 06, 2023 07:27 AM GMT
Wayomi

Wayomi

Report

 අලුතින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති ලෙස තමා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට උපරිම සහයෝගය ලබාදෙන බව අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත්, රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත්, පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවත්ය.

"ක්‍රීඩා ඇමතිතුමා තමයි ඒක පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ සෑහෙන කාලයක් එතුමා මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ ක්‍රිකට් අද වැටිලා තියෙන තත්ත්වයත් එක්කයි මේ තීරණය ගන්න ඇත්තේ. එතුමා පත්කරපු කමිටුවේ මටත් වගකීමක් භාරදීලා තියෙනවා. මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් තියෙනවා. ඒ හරහා අපට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රිකට් ගොඩගන්න. ඒ සඳහා අපේ පුළුවන් සහයෝගය ලබාදෙනවා. මේ පාර අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න. ලංකාවේ මිනිස්සුන්නට ක්‍රිකට් එපා වුණා. ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම තමා මගේ බලාපොරොත්තුව.

මම නීතිය ගැන කතා කරන්නනේ නෑ. මම එකට දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මහජනයාට අවශ්‍ය කරන දේ අද අපට තේරිලා තියෙනවා. අපිට වැඩක් භාරදිලා තියෙනවා අපි එ්ක භාර ගන්නවා. හරියට කරනවා. අපිට යන්න කිව්වොත් අපි යනවා. මේක අපි බලෙන් ඉල්ලගෙන ආපු එකක් නෙමේ."

1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතුරු කමිටුවක් පත්කළ අතර, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අනුව තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අර්ජුන රණතුංග මහතා සභාපතීත්වය දරණ එම කමිටුවේ සාමාජිකයන් වන්නේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ,විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රකිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්ඩීන් යන අයයි.   

ReeCha