මියන්මාර - ශ්‍රී ලංකා ආර්ථික හා බෞද්ධ සබඳතා වර්ධනයට වැඩපිළිවෙලක්...
අද (16) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරලිය ගහ මන්දිරයේ දී මියන්මාර වැඩ බලන තානාපති ලෙයි යි වින් හමු වූ අවස්ථාවේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව පවසා සිටියේ ය.
මැණික් හා ස්වර්ණාභරණ, තේ සහ පොල් වෙළෙඳාම, ඛනිජ ද්‍රව්‍ය, බෞද්ධ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ය.
පෙර සැකසුම් කළ පොල් ආශ්රිත නිෂ්පාදන ආනයනයේ යෙදී සිටින ශ්‍රී ලංකාවට ඇති අධි ඉල්ලුම සැපිරීමට මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මියන්මාරයට ශ්‍රී ලංකාව වෙත පොල් අපනයනය කිරීමේ අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .
වසර 2600කට පසුව ද බුද්ධ දර්ශනය ප්‍රචලිත ව පවතින බවත් එය ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සමීප ආගමික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත .
එමෙන් ම, එදා පටන් ම දෙරට අතර ආගමික සහජිවනය පවතී බවත්, ථේරවාදී බුදු දහමේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මියන්මාරයෙන් ලැබුණු සහයෝගයත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කලේ ය.
ආනයන අපනයන සහ ආර්ථික සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා මියන්මාරයේ යැංගූන් හී පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවට සහභාගී විය හැකි බව වැඩබලන තානාපති ලෙයි යි වින් පැවසී ය.
තව ද, මේ වසරේ දී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන බව ද සඳහන් වේ.