කොටගල වතුයායක මහා කලබලයක් - වතු අධිකාරීන්ට ගොම ප්‍රහාරයක් එල්ල කර කාර්යාලයේ හිර කරයි
දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල මේ ෆීල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් අද (21) දිනයේදී වැඩ වර්ජනයක නිරත වී දැඩි විරෝධතාවක් පවත්වා ඇත.
විරෝධය අතරතුර වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියේ නිළධාරීන් කිහිප දෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව ඔවුන් කාර්යාලය තුළට සීමා කර වතු කාර්යාලය වටලා සිටි බව වාර්තා වේ.
වතු කම්කරුවන් චෝදනා කරන්නේ, වතු පාලන අධිකාරිය විසින් මුරකරු සේවය තාවකාලිකව නතර කිරීම සහ වතු ගැටළු සාකච්ඡා කිරීමට යන කම්කරුවන්ගේ වැඩ තාවකාලිකව නවතා දැමීම වැනි ක්‍රියාමාර්ග දිගින් දිගටම සිදු කරන බවයි.
ඊයේ දළු මඩුවකදී සහකාර වතු අධිකාරීවරුන් දෙදෙනෙකු හා ක්ෂේත්‍ර නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්වෙමින් සිටියදී මෙම උණුසුම් තත්ත්වය ඇති වී ඇති අතර, එම අවස්ථාවේදී ගොම ප්‍රහාරය එල්ල වී ඇත.
පසුව පොලිස් නිලධාරීන් මැදිහත්වී වතු පාලන අධිකාරියේ නිළධාරීන් ආරක්ෂිතව කාර්යාලයට රැගෙන ගොස් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් සදහා අවස්ථාව සලසා ඇත.
කෙසේ වෙතත්, එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර, වතු කම්කරුවන් පවසන්නේ වතු පාලන අධිකාරිය ඉවත් කරන තුරු තමන් වැඩට නොයන බවයි.