රෝහල්වලින් එළියට ආ භය හිතෙන සංඛ්‍යාලේඛනය- හදිසි අනතුරුවලින් 70%කටම වගකියන්න ඕන සත්තුද?
රෝහල් බාහිර රෝගී අංශවල හදිසි අනතුරු ආශ්‍රිත තුවාල සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 70ක් පමණ සතුන් විසින් සපා කෑමට ලක් වූ පුද්ගලයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.
මෙම සංඛ්‍යාලේඛන මගින් ශ්‍රී ලංකාවේ මිනිසුන්, සතුන් සහ පරිසරය අතර පවතින දෛනික අන්තර්ක්‍රියා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තුවාල සඳහා ප්‍රධාන හේතුවක් බව පැහැදිලි වන බව එම අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.
රෝහල් වාර්තා අනුව, කෙත්වලදී සර්ප දෂ්ට කිරීම්වලට ලක් වූ ගොවීන්, නිවෙස් ආසන්නයේදී බල්ලන් සපා කෑමට ලක් වූ දරුවන් සහ රාත්‍රී කාලයේදී අයාලේ යන සතුන්ගේ ප්‍රහාරවලට ගොදුරු වූ පුද්ගලයන් දිනපතා ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණෙති.
තුවාල සිදුවන තත්ත්වයන් වෙනස් වුවද, ඒවායින් බොහොමයක් වළක්වා ගත හැකි සිදුවීම් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. බාහිර රෝගී අංශවල වාර්තා පමණක් මෙම දත්තවලට ඇතුළත් වන බැවින්, සැබෑ තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි බවද නිලධාරීහු පෙන්වා දෙති.
දරුණු තුවාල සහිත රෝගීන් රෝහල්ගත කෙරෙන අතර, ඇතැම් සිදුවීම් වාර්තා නොවීම හෝ ප්‍රතිකාර ප්‍රමාද වීම හේතුවෙන් සංකූලතා ඇතිවීමේ අවදානමද ඉහළ යන බව ඔවුහු සඳහන් කරති.
ශ්‍රී ලංකාවේ රෝහල්ගත වීමට ප්‍රධානතම හේතුවක් ලෙස තුවාල පවතින අතර, ඒවා ආබාධිතභාවයට සහ මරණවලටද සැලකිය යුතු දායකත්වයක් සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සෑම වසරකම මිලියන ගණනක් තුවාලවලට ගොදුරු වන අතර, මිලියනයකට අධික පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන බවද සඳහන් වේ.
මෙවැනි තුවාලවලින් බොහොමයක් වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ, වගකීමෙන් සුරතල් සතුන් රැකබලා ගැනීම, සුරතල් සතුන්ට නිසි පරිදි එන්නත් ලබාදීම, අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ තුවාලයක් සිදු වූ වහාම ප්‍රථමාධාර ලබාදීම වැනි පියවර මගින් අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව අවධාරණය කරයි.
කෙසේ වෙතත්, දැනුවත්භාවය නොමැතිකම, ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කිරීම, අයාලේ යන සතුන් සම්බන්ධ අනාරක්ෂිත හැසිරීම් සහ මූලික ආරක්ෂක පියවර නොසලකා හැරීම හේතුවෙන් වළක්වා ගත හැකි සිදුවීම් තවදුරටත් වෛද්‍ය හදිසි අවස්ථා බවට පත්වෙමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
තුවාල වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන්වලට පමණක් සීමා නොවී, පුද්ගලික හැසිරීම් වෙනස් කිරීම සහ ප්‍රජා වගකීම ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.